කොළඹ මධ්‍යම පන්තික බොහෝ පිරිසක් ජීවත්වන්නේ මහල් නිවාසවලය. කොරෝනා උවදුර හේතුවෙන් දැනට සති 3 ටත් වැඩි කාලයක් මුළුල්ලේ තට්ටු නිවාස ඇතුළු විශාල වපසරියක් තාමත් ලොක් ඩවුන් කර ඇත.  ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන, මට්ටක්කුලිය රන්දිය උයන, වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ, මරදාන, සාමපුර, දෙමටගොඩ, මිහිඳුසෙන්පුර, වනාතමුල්ල සහස්පුර, සියපත සෙවණ, මාලිගාවත්ත දුම්රිය නිවාස සංකීර්ණය මෙකී නොකී සියලුම මහල් නිවාස මේ වනවිට ලොක් ඩවුන් කර ඇත.
මේ හේතුවෙන් ලක්ෂ 3 ට අධික පිරිසක්, පීඩාවට පත්ව ඇති අතර පසුගිය දිනවල එම මහල් නිවාසවාසීන් උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියේ තමන්ට රැකී රක්ෂා සඳහා යෑමට ඉඩ දෙන ලෙසයි. ඉන්පසු මෙම මහල් නිවාස වාසීන් ගැන තවදුරටත් සොයා බලමින් කොළඹ නගර සභාව ඔවුන්ට රු. 5000 අමතරව රු. 10000 බඩු මලු ලබා දීමට පියවර ගත්හ.

මහල් නිවාසවාසීන්ගේ සුව දුක් සොයා අප රැගත් වෑන් රිය මුලින් නතර වූයේ මරදාන ගිනි නිවන හමුදා මූලස්ථානය අසල බුදු පිළිමය මායිමේය. කොවිඩ් පළමු රැල්ලේ මෙන් ම දෙවන රැල්ලේ ද මෙම ප්‍රදේශයෙන් ආසාදිතයන් කීප දෙනෙකු (45) හමු වූ අතර ඔවුන් මේ වනවිට නිරෝධායනයට යවා ඇත. ඒ කන්දකාඩු, පූනානි, යාපනය, ඇඹිලිපිටිය, බළංගොඩ හා දියතලාව යන ප්‍රදේශවලටය. තට්ටු නිවාසවලට ළඟා විය නොහැකි සේ මාර්ග බාධක යොදා වසා දමා තිබුණි. නිරන්තරයෙන් ම මරදාන පොලිස් නිලධාරීන්ගේ හා සෙ‍ෟඛ්‍ය අංශවල නිලධාරීන්ගේත් හමුදාවේත් අධීක්ෂණය යටතේ මෙම නිරෝධායන කටයුතු සිදු කරයි. ඒ මොහොතේ ද මරදාන ප්‍රජා පොලිස් සැරයන් (52953) එච්.බී. විමලසේන මුර සංචාරයේ යෙදුණි.

ඊළඟට අපේ ඉලක්කය වූයේ වනාතමුල්ල සහස්පුර මහල් නිවාසය. බොරැල්ල ළමා රෝහල ඉදිරිපිටින් වනාතමුල්ල දක්වා ගමන් කළ අපිට දැනගන්නට ලැබුණේ මේ පැත්තෙන් ඉදිරියට යන මාර්ගය වසා ඇති බවයි. බොරැල්ලේ සිට දෙමටගොඩ ගුවන් පාලම දෙසට ගමන් කළ අපි පාරේ දකුණු පසින් මීටර් 250 ක් පමණ ඇතුළට ගමන් කර දෙමටගොඩ මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණ සීමාවට පැමි‍ණියෙමු. ආරක්ෂක නිලධාරීන්ගෙන් අවසර ගෙන නිවාස සංකීර්ණය දෙසට ගමන් කරන අපට දක්නට ලැබුණේ මුව ආවරණය පැලඳි ජනතාව සිය ගණන් පෝලිම් ගැසී සිටින ආකාරයයි. ජංගම වෛද්‍ය රසායනාගාරය නම සඳහන් විශාල ‘ඇම්බියුලන්ස් රථයක් නතර කර තිබූ අතර, මහල් නිවාස මධ්‍යයේ පිහිටි විශාල ශාලාවක මහල් නිවාසවාසීන් සඳහා පී. සී. ආර්. පරීක්ෂණ හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු දක්නට ලැබුණි. එම ශාලාවේ කොටසක පැමිණෙන පිළිවෙළට නම ලිපිනය ලියාපදිංචි කරන අතර ඇතුළත හෙද නිලධාරිනියන් විසින් පරීක්ෂණ සිදු කරයි. ඔවුන් බොහෝ කඩිසරව පරීක්ෂණ නළ එහා මෙහා ගෙනියමින් පරීක්ෂණ සිදුකරනු පෙනුණි. මේ සියල්ල අධීක්ෂණය කරන්නේ කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය දිනුකා ගුරුගේ විසිනි.

“ඔයාලා පරිස්සම් වෙන්න. මෙතන හුඟාක් ලෙඩ්ඩු ඉන්නේ. විෂබීජ හැමතැනම‍. ඔයා දාලා තියන මාස්ක්වල පවර් එක මදි. ඈ... අපව බියට පත් කළාය. මා මේසය මත තිබූ හෑන්ඩ් සැනිටයිසර් බෝතලයෙන් ටිකක් අතට හලා ගත්තෙමි. මේ මේසෙ ගෑවෙන්න එපා. ඈතට වෙලා ඉන්න. ඔයාලටත් කොරෝනා හැදෙයි. වෛද්‍යතුමිය එසේ කියයි.

සාලිය දිගට හරහට PCR පරීක්ෂණ කරන අයුරු සිය කැමරාවට හසුකර ගනියි. ඔය ලෙඩ්ඩු අස්සට යන්න එපා. වෛද්‍යවරිය සාලියටත් කෑගසයි. ලැබුණු මඳ විරාමයෙන් වෛද්‍ය දිනුකා ගුරුගේගෙන් තොරතුරු ටිකක් ලබා ගතිමි.

“සාමාන්‍යයෙන් මහල් නිවාස ආශ්‍රිතව දවසකට PCR පරීක්ෂණ 150 ක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 50 විතර කෙරෙනවා හැම තැනම. අද මෙත්සඳ සෙවණේ විතරක් PCR 1000 ක් කෙරෙනවා. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණත් 500 විතර. අද දවසේම මෝදර මහල් නිවාසවලත් මේ පරීක්ෂණ දෙකම කෙරෙනවා. Positive වෙන අයව ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යවනවා.”

හෙදියන් විසින් කරන පරීක්ෂණ අතරමග යම් ගැටලුවක් වෙතොත් දිනුකා ගුරුගේ වෛද්‍යවරිය එතනට දිව යයි.

පී. සී. ආර්. පරීක්ෂණය සඳහා පෝලිමේ සිටින ඩී. එම්. චමින්ද ප්‍රසාද් (42) සමඟ මා කතාවට වැටුණෙමි.


“මම මුද්‍රණ අංශයක වැඩ කරන්නේ. ලොක් ඩවුන් කළාට පස්සේ රු. 10000 බඩු මල්ලයි රු. 5000 හම්බ වුණා. පුතාලා තුන්දෙනයි. මේ ටිකේ නම් ගැටලුවක් නැහැ. රජයේ වැඩපිළිවෙළ නම් හොඳයි” රජයක් විදිහට කරන්න පුළුවන් හැමදේම කරනවනේ. මේ පැත්තේ ආසාදිත කීප දෙනෙක් නිරෝධායන කඳවුරුවලට ගෙනිච්චා. හැම ගෙදරකින්ම එක්කෙනා බැගින් තමයි මේ PCR වලට තෝරගත්තේ, සමහර ගෙවල්වලට නම් බඩු මලු ලැබිලා නැහැ. මේ මහල් නිවාසවල හුඟක් අයට රජයේ රස්සා නෑ. ස්වයං රැකියා හරි කුලී රස්සා, එදිනෙදා වේල තමයි හොයා ගන්නේ. අනිත් එක අපිට කොරෝනා තියනවද කියලා බලන්න මේ වගේ පරීක්ෂණ කරන එකම ලොකු දෙයක්නේ.”

දෙමටගොඩ සියපත් සෙවණ 1, 2, 3, මිහිඳුසෙන්පුර, නිවාස යෝජනා ක්‍රම අහස මානයට උසය. 5000 ට වැඩි පිරිසක් මෙම මහල් නිවාසවල ජීවත් වෙති. පාරේ එක පේළියට නතර කර තැබූ ත්‍රීවීල් කවර දමා වසා ඇත. එක් පසෙක පොලිස් ජීප් රියකි. පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සේවයේ යොදවා ඇත. හමුදා නිලධාරීන් ද ඒ අතර වෙති.

පී. සී. ආර්. පරීක්ෂණයට ඇති දිගු පෝලිම මගහැර මඳක් වාඩිවී විවේක ගනිමින් සිටි කාන්තාවකට ළංවීමි. ඇය රෙජිනෝල්ඩ් ජීවනී (42) මිහිඳුසෙන්පුර මහල් නිවාසයේ පදිංචි වී ඇත.

“අපේ මහල් නිවාසේ තට්ටු 10 ක් තියනවා. එක තට්ටුවක ගෙවල් 25 යි. උඩට යන්න ලිෆ්ට් එක දාලා තියනවා. අපි කළේ හඳුන්කූරු බිස්නස් එක. දැන් මෙහේ වහලා මාසයක් විතර. රු. 5000 යි 10000 බඩු මල්ලයි ලැබුණා. ගෙවල්වල ලෙඩ්ඩු ඉන්නවා බෙහෙත්වලට කරන්ට්, වතුර බිල් ගෙවන්නේ කොහොමද? මේ සැරේ අපි කෑගහලා තමයි බඩු ටික ගත්තේ. ඒවත් ඉවරවේගෙන එනවා. දැන් පරිප්පුයි බතුයි තමයි කන්නේ. රජය හැකි විදිහට බලනවනේ‍...”

PCR පරීක්ෂණ කෙරෙනුයේ අංක පිළිවෙළටය. එම අංක කලින් ලබාදී ඇති අතර සහභාගිවන්නන් මීටරේ දුර තබාගෙන මුව ආවරණ සහිතව පේළියට පැමිණිය යුතුයි. පොලිසියෙන් හා කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පිරිස කළමනාකරණය කරනු ලබයි. වි‍ශේෂයෙන් ඒ පිරිසේ මීටරේ දුර හා මුව ආවරණය සම්බන්ධයෙනි. මහජන සෞඛ්‍ය පරීක්ෂක නාලක වික්‍රමසිංහ අදහස් පැවසුවේ මෙහෙමයි. අද උදේ 7 ½ ඉඳලා දවස පුරා PCR හා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් සිදු කරනවා. Positive වෙන අය නිරෝධායනයට ගෙනියනවා. අපි යටතේ අධීක්ෂණය වෙන්නේ. මහල් නිවාස වැසියන්ගේ සෞඛ්‍ය අංශය, ආයුර්වේදයෙනුත් ඇවිත් කඳවුරක් කළා. වසංගතවේදී අංශයෙන් ද ඇවිත් කඳවුරක් කළා. හදිසියේ කාටහරි අසනීප වුණොත් 1990 ගෙනල්ලා ජාතික රෝහලට ගෙනියනවා. අපි උපරිම අයුරින් මෙම නිවැසියන්ව බලා ගන්නවා. මෙතන තියන C.G.R. Flat (දුම්රිය දෙපාර්තමේන්තුවේ) මහල් නිවාස හැර අනිත් සේරටම ආණ්ඩුවේ රු. 5000 ලැබුණා. කොළඹ නගරයේ මහල් නිවාස අතර අඩු ආදායම්ලාභී ජනතාව බොහෝ පිරිසක් ජීවත්වන වනාතමුල්ල නිවාසවල බොහෝ පිරිසක් එදිනෙදා වේල පිරිමහ ගන්නේ කුලියක් මලියක් කර ගැනීමෙනි.

නිවාසලාභීන් අතර ආණ්ඩුවෙන් දුන් භාණ්ඩ සමසේ බෙදී ගොස් නැත. බඩු මලු බෙදා හැරීමේදී කිසිවක් අක්‍රමිකතාවක් සිදුවී ඇත. නම හෙළි කිරීමට අකමැති අයෙක් මේ ගැන කීවේ මෙවැන්නකි.

“දේශපාලනඥයන්ගේ සීල් තියපු තුණ්ඩු බෙදාගෙන ගියා. සමහර කට්ටියකට තුණ්ඩු ලැබුණේ නෑ. අන්තිමට තුණ්ඩු තියන අයයි නැති අයයි පෝලිමේ හිටියා. පැය ගාණක් වතුර උගුරක්වත් නැතුව. අන්තිමට තුණ්ඩු නැති අයට තියා තුණ්ඩු තිබුණු අයගෙන් සීල් එක නෑ කියලා බඩු දුන්නෙ නෑ. බඩු ටිකත් ඉවර වුණා. සමහර ‍ප්‍රදේශයේ දේශපාලනඥයෝ එයාලගේ හිතවත් අයට තුණ්ඩු කලින් දීලා තිබුණා‍. මේක හරි අසාධාරණයි. බඩගින්න කාටත් පොදුයි. දිගටම මෙහෙම වහලා තියන්න ගිහාම අපිට බඩගින්නෙ මැරෙන්නයි වෙන්නේ. කොරෝනාවලට කලින්.”

මීටරේ දුර, මුව ආවරණ අත් සේදීම ආදී සෞඛ්‍ය පුරුදු ඔවුන්ට ‍ගාණක් නැතිවා සේය. අප කතාබහ කරන විට තවත් පිරිසක් අප දෙසට ආවේ ආණ්ඩුවෙන් බඩු මල්ලක් බෙදීමට පැමිණියා දැයි සිතා විය හැකි ය.

“අපි විඳින දුක ගැන ලියන්න නෝනා. අපිට යන්න දෙන්නෙත් නෑ. කන්න බොන්නත් නෑ. මොන කරුමයක්ද මේක. එක් කාන්තාවක පැවසුවේ ආවේගයෙනි. කො‍රෝනා වසංගතයේ පීඩනයෙන් ඔවුන්ගේ මානසිකත්වය මහ පොළොවට සමතලා වී ඇති සෙයක් අපට දැනුණි.

නිශානී හේරත් බන්නැහැක (Silumina)
ඡායාරූප - සාලිය රූපසිංහ