බන්ධනාගාරයේ රැඳවියන් අතර උණ රෝගය පැතිරීමත් සමග ඇතිවූ ජීවිත අවදානමට "කඩිනම් විසඳුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන්" රැදවියන් කළ උද්ඝෝෂණය අවසානයේ ගැටුමක් දක්වා වර්ධනය වී ඇතැයි නිරීක්ෂණය වන බව මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාවේ සඳහන් වේ. එම අවස්ථාවේ රිමාන්ඩ් සැකකරුවන් අතර සිටි විවිධ අපරාධවලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබ සිටි විවිධ කල්ලි මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඔවුනොවුන්ගේ පෞද්ගලික කෝන්තර සහ අරමුණු ඉෂ්ට කර ගැනීමට කල්ලි ගැසී දරුණු අන්දමින් පහරදීම සිදුකර තිබූ බව ද නිරික්ෂණය වන බව එම වාර්තාවෙන් දැක්වේ.


රැඳවියන් බන්ධනාගාර දේපළ සහ ලිපි ලේඛනවලට ගිනි තබා ආයතන  
ගොඩනැගිලි කඩා බිඳ දමා විශාල හානියක් සිදුකර ඇති බවත් මේ අවස්ථාවේ දී රැඳවියන් අදාළ පරිශ්‍රයෙන් සොයාගත් ගල් මුගුරු, යකඩ පොලු, මන, කඩු, පිහි මෙන්ම ගිනි තැබීම් සඳහා බොයිලේරුවෙන්  ලබාගත් තෙල් ද තිබී ඇති නමුත්, කිසිවකු අත ගිනි අවි තිබී නැති බවත් එහි සඳහන් වෙයි. ගිනි අවි තිබී ඇත්තේ බන්ධනාගාර නිලධාරින් සත්තකයේ පමණක් බවත් ගිනි අවි පාවිච්චි කර ඇත්තේ එම නිලධාරින් බවත් කමිටුවේ නිරීක්ෂණය ලෙසින් සඳහන් කර තිබේ. මෙම ගැටුම ඉකුත් 29 වැනිදා සවසත් රාත්‍රී කාලයේදිත් 30 වන දින සවස් භාගයේදීත් තිබී ඇති අතර, ඇතැම් රැඳවියන් විවිධ පෙති වර්ග භාවිත කර තිබූ බවටත් ඉන් අනතුරුව දරුණු ගැටුම්වලට සහභාගි වී තිබූ බටවත් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවලින්ම නිරික්ෂණය වන බව ද සඳහන් කර ඇත.


රැඳවියන් මෙම පෙති අසාමාන්‍ය ලෙස පානය කිරීමෙන් කලහාකාරි පරිසට උත්තේජනයක් ලැබුණේ ද නැද්ද යන්න විශේෂඥ මතයක් තුළින් නිගමනය කළ යුතුව ඇති බැවින් ඒ පිළිබඳව නිගමනයකට එළඹීම අවසාන වාරිතාවේ දී සිදුකරනු ඇතැයි ද එම අතුරු වාර්තාවේ සඳහන් වෙයි. ගැටුම හේතුවෙන් ජලනල කැඩී තිබූ නිසා ජල සැපයුම ද 30 වැනිදා ආහාර සැපයුම ද අඩාල වී ඇති අතර, අකුලන ගේට්ටුව අසලට පැමිණි රැඳවියන් වතුර ඉල්ලා කෑ ගසා ඇති බවත් එහිදී නිලධාරීන්, පිරිස පාලනය කිරීම සඳහා වෙඩි තබා ඇති බවත් කමිටු වාර්තතාවේ සඳහන් වෙයි.
ඒ  හේතුවෙන් කිහිප දෙනකුට වෙඩි වැදී ඇති බවත් එම කලහකාරි තත්වය පසුදින එනම් දෙසැම්බර් 01 වැනිදා තෙක් තිබී ඇති බවත් ආසන්නයේ සිට වෙඩි තැබීමෙන් රැඳවියන්ට වෙඩි වැදුනාද නැද්ද යන්න නිගමනය කළ  හැක්කේ පශ්චාත් මරණ පරික්ෂාවෙන් බවත් වාර්තාවේ දැක්වේ .


රජයේ දේපළ හානි සිදු කිරීම ඇතුළු අපරාධ ක්‍රියා සිදු කළ රැඳවියන්ට  එරෙහිව පොලිස් පරික්ෂණ කඩිනමින් සිදුකර නීතිපතිවරයා මගින් නඩු පැවරිය යුතු රැඳවියන්ට ඉක්මනින් නඩු පැවරීම සිදුකළ යුතු බව ද වාර්තතාවේ සඳහන් වේ.  නිලධාරින්ගේ නොසැලකිලිමත් ක්‍රියා සම්බන්ධව පරීක්ෂණවලින් හෙළිදරව් වීමක් ගැන මෙම අවස්ථාවේ දී කමිටුවට මතයක් ප්‍රකාශ කළ නොහැකි  අතර වඩාත් විස්තරාත්මක තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් ලබාදීමේ දී ඒ ගැන අවධානය යොමු කරනු ඇතැයි ද වාර්තාවේ සඳහන් කර ඇත. මේ සිද්ධිය සිදුවූ දින දහවල් කාලයේ දී කොරෝනා වැළඳුණ රෝගීන් විශාල සංඛ්‍යාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බවට  රැඳවියන්ට දැනගන්නට ලැබීමෙන් පසුව තමන්ගේ ජීවිත ආරක්ෂ වන  අන්දමේ ඉල්ලීම් ඉදිරිපත් කරමින්  රැඳවියන් සිදුකළ සාධාරණ උද්ඝෝෂණෙයක් ලෙසට මෙය  නිරීක්ෂණය වන බව ද එම වාර්තාවේ  සඳහන් වෙයි.


මෙම පංච පුද්ගල කමිටුව සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නිතී උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රෝහණ හපුගස්වත්ත, විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්. රණවීර, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ.


-නිමන්ති රණසිංහ-