සැක කටයුතු ලෙස පුද්ගලයකු මහරගම නගරයේ සැරිසරන බවට ලද තොරතුරක් මත එම පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් සියයක් සොයා ගැනීමෙන් අනතුරුව මරගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් සිදුකළ විමර්ශනවලදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වෙළෙඳසල් හැත්තෑපහකට අධික සංඛ්‍යාවක් රාත්‍රී කාලයේ දී කඩා ලක්ෂ හැටකට ආසන්න මුදල් හා භාණ්ඩ සොරාගෙන ඇති බවට අනාවරණය වූ පසු එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවැසීය.


මෙම පුද්ගලයා රැකියාව වශයෙන් සැණකෙළිවල මාරක ළිඳේ බයිසිකල් පැදීමට දක්‍ෂතාවක් ඇති පුද්ගලයකු බවත් කොරෝනා වසංගතය හේතුවෙන් රටේ සැණකෙළි පවත්වන්නේ නැති වාතාවරණය මත ඔහුට හෙරොයින් පානයට මුදල් නොමැති වීමෙන් මුදල් සොයා ගැනීම සඳහා මෙලෙස සොරකමේ නියැළී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පැවැසිය.

වයස අවුරුදු 25ක් වන සැකකරු හිඟුල, ගනේතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් මොහුගේ පියා කොළඹ ප්‍රදේශයේ නාටාමිවරයකු වශයෙන් රැකියාව කරන අතර පියා සමඟ කොළඹට පැමිණ පියා මගහැර ගම්පහ, කඩවත, කිරිබත්ගොඩ, නවගමුව වැනි ප්‍රදේශවල වෙළඳසල් බිඳ දුරකතන කාඩ්පත්, දුම්වැටි, ගෑස් සිලින්ඩර්, විදුලි උපකරණ රාශියක් සොරාගෙන විකුණා එම මුදලින් හෙරොයින් පානය කර ඇති බවට අනාවරණය වූ බවත් පොලිසිය පැවැසීය.

සිදුකළ වැඩිදුර විමර්ශනවලදී ගල්කිස්ස, මහරගම, බොරලැස්ගමුව, වැලිකඩ, මිරිහාන, කොට්ටාව වැනි ප්‍රදේශවල රාත්‍රී කාලයේ දී නිවාස හා කුලියට උපකරණ ලබාදෙන වෙළඳ ආයතන බිඳ මුදල් සහ විදුලි යන්ත්‍ර රැසක් සොරකම් කර තිබියදී සොයාගත් බවත් පොලිසිය පැවැසීය.


සොයාගත් භාණ්ඩ අතර ගෑස් සිලින්ඩර් තුනක්, විදුලි අත් විදුම් යන්ත්‍ර 15ක්, විදුලි කැපුම් යන්ත්‍ර 5ක්, එල්.ඊ.ඩී. ටීවී යන්ත්‍රයක්, දුරකතන කාඩ්පත්, දුම්වැටි අටසියයක්, වායු ආධාරයෙන් වාහනවලට තීන්ත ආලේප කිරීමට යොදා ගන්නා උපකරණ රැසක් තිබූ බවත් සොරකම් කළ ලක්‍ෂ තිහකට අධික මුදලකින් දිනපතා හෙරොයින් පානය කර ඇති බවත් මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිසිය පැවැසීය. ගල්කිස්ස ප්‍රදේශයේදී සොරකම් කරන ලද රුපියල් 180,000ක මුදලකින් දින තුනක් ඇතුළත සම්පූර්ණ මුදල් වියදම් කර හෙරොයින් පානය කර ඇති බවත් සැකකරු පදිංචි මාවනැල්ල ප්‍රදේශයෙන් කොළඹට එන විට කොළඹ ආයතනයක උසස් නිලධාරියකු වශයෙන් රැකියාව කරන ආකාරය මිනිසුන්ට ඒත්තු ගැන්වෙන ආකාරයෙන් ඇඳුම් පැලඳුම්වලින් සැරසී පැමිණෙන බවත් පොලිසිය සිදුකළ පරීක්‍ෂණවලදී හෙළි කරගත් බව ද පොලිසිය පැවැසීය.

සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබාගෙන සැකකරු විසින් පුද්ගල ඝාතන හෝ වෙනත් අපරාධ සිදුකර ඇත්දැයි විමර්ශනය කරන බව ද පොලිසිය පැවැසීය.
- බිමල් ශ්‍යාමන් ජයසිංහ -