මහව පහළබල්ල ප්‍රදේශයේදී පෙරේදා (15) රාත්‍රි සිදුවූ රිය අනතුරකින් තිස් දෙහැවිරිදි කාන්තාවකට සහ ඇගේ අවුරුදු තුන හමාරක් පමණ වයසැති පුතා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මහව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මහව පහළ බලල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.එම්. අයිරාංගනී (32) නමැති කාන්තාව සහ කේ.ඒ. ධනංජය යොහාන් කුරුවිට (වයස අවුරුදු තුන හමාරයි) නමැති දරුවාය. මෙම මව සහ දරුවා නිවෙස අසල වෙළෙඳ සැලකට ගොස් පාගමනින් නිවෙසට යළි පැමිණෙමින් සිටියදී අනුරාධපුර දෙසට ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි මහව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.පී. වයි.ඩබ්ලිව්. හේරත් මහතා පැවැසීය.
කාන්තාව හා දරුවා මාර්ගය අයිනෙන් පැමිණෙමින් සිටියදී කැබ් රථයේ මෙසේ ගැටී තිබෙන බවත් එහි ගැටීමෙන් පසුව එම කාන්තාවන් හා දරුවා මීටර් පනහක් පමණ දුරකට ඇදී ගොස් තිබූ බවත් පොලිස් පරික්ෂක්කවලදී තොරතුරු හෙළිවී ඇත. මව සහ දරුවා අනතුරට ලක්වූ කැබ් රථය මහව සහ මැදවච්චිය ප්‍රදේශවල දුම්රිය සේවකයන් 11 දෙනකු රැගෙන කොළඹ සිට අනුරාධපුරය දක්වා එමින් තිබූ එකකි. අනතුරින් පසුව එම කැබ් රථයේ රියදුරු රථය එම ස්ථානයේම දමා පලා ගොස් ඇති අතර අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ඊයේ (16) උදේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කැබ් රථයේ ගමන් කළ දුම්රිය සේවකයෝ දස දෙනාද නිරෝධායන පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබ සිටිති. අනතුර සිදුවන අවස්ථාවේදී කැබ් රථයේ රියදුරා බීමත්ව සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි. අනතුරින් මියගිය කාන්තාව ගෘහණියක වන අතර ඇයගේ ස්වාමි පුරුෂයා මුලතිව් යුද හමුදා කදවුරේ හමුදා භටයෙකි. කාන්තාව හා දරුවා බිත්තර කිහිපයක් මිලදී ගැනීමට නිවෙස අසල වෙළඳසැලකට ගොස් නැවත පාගමනින් පැමිණෙමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇතැයි කියති. මේ අතර කැබ් රථයේ රියදුරු සහ එම කැබ් රථයේ ගමන් කර ඇති සැකකරුවන් දෙදෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා මහව මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.
මවගේ සහ දරුවාගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා එම මෘත දේහය ඔහුගේ ඥාතීන්ට බාර දෙන ලෙසත් අදාළ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මහව මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේය. මෙම මාරක අනතුර සම්බන්ධයෙන් මහව මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. අත්අඩංගුවට ගනු ලැබූ රියැදුරා අනුරාධපුර දුම්රිය නිවාසවල පදිංචිකරුවෙකි. අත්අඩංගුවට පත්වූ පසු ඔහු පොලිසියට පවසා ඇත්තේ අනතුරින් පසු එතැනට රැස් වූ ප්‍රදේශවාසීන් පිරිසක් තමන් ඇතුළු පිරිසට පහරදුන් අවස්ථාවේ ඔවුන්ගෙන් බේරී අනුරාධපුරයට පලා ආ බවයි. පහර කෑමෙන් සිදුවූ තැළුම් තුවාල සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පෙරේදා මධ්‍යම රාත්‍රී 12.00ට පමණ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වූ බව ද ඔහු පවසා ඇත.
-අතුල බණ්ඩාර-
0 Comments