BBC මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර මහතා තමන් සමග කළ සම්මුඛ සාකච්ඡාවක් තමා කෙරෙහි
ද්වේශසහගත හැඟීමකින් යුතුව කරුණු විකෘති කර පළ කළ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
කළ චෝදනාවකට පිළිතුරු දීම සඳහා එම මාධ්‍යවේදියා ඊයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්

පැවැත්වෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත කැඳවා තිබිණි.

එහිදී බීබීසී මාධ්‍යවේදියා සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ, අදාළ සම්මුඛ සාකච්ඡාව පැවති අවස්ථාවේ
හිටපු ජනපතිවරයා තමන්ගෙන් ඔ්නෑ ම ප්‍රශ්නයක් විමසන ලෙස තමන්ට දැනුම් දුන් බවය.

"සම්මුඛ සාකච්ඡාව ආරම්භ වී එය සාමාන්‍ය ලෙස ඉදිරියට ගිය ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්
ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු නොසන්සුන් වූ" බව ෂර්ලි උපුල් කුමාර පැවසීය.

ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම කෙරෙහි යම් අකමැත්තක් පෙනෙන්නට තිබුණ ද, සම්මුඛ සාකච්ඡාව අවසන්
වන තුරු ම මෛත්‍රීපාල සිරිසේන මහතා සාමාන්‍ය ලෙස ඊට සහභාගි වූ බව ද බීබීසී මාධ්‍යවේදියා
සඳහන් කළේය.

අදාළ සම්මුඛ සාකච්ඡාව අවසානයේදී හිටපු ජනාධිපතිවරයා තමන්ගේ උරහිසට අත දමා ඡායාරූපයකට
පෙනී සිටි බව ද ඔහු පැවසීය.

පසුව අභිනව පාර්ලිමේන්තුව රැස්වූ දිනයේදී ද ඔහු තමන් සමග ඡායාරූපයකට පෙනී සිටි බවත් එදින පවා
කිසිදු වෙනසක් නොපෙන්වූ බවත් ෂර්ලි උපුල් කුමාර පැවසීය.

අදාළ ඡායාරූප ද ඔහු ජනාධිපති කොමිසමට ඉදිරිපත් කර තිබිණි.

අදාළ සම්මුඛ සාකච්ඡාව කිසිදු විකෘති කිරීමකින් තොරව සංස්කරණය කළ බවත්, එහි සංස්කරණය නොකළ
දර්ශන බීබීසී සේවය සතුව පවතින බවත් මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර සඳහන් කළේය.

කුමුදු ජයවර්ධන