මද්‍යසාර සහ එතනෝල් නිෂ්පාදනයේදී බඩඉරිඟු භාවිතය මුළුමනින්ම තහනම් කරමින් ගැසට් නිවේදනය නිකුත්
කරන ලෙස ජනාධිපතිවරයා සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කළේය.

ගොවීන්ගේ කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන්නැයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියම කළේය.

දේශීය ගොවීන් කහ සහ බඩඉරිඟු වගාව ඉතා සාර්ථකව පුළුල් කර ඇත. ඉදිරි මාස් කන්නයේ අස්වනු
නෙළීමට ආසන්නව පවතී. ගොවීන්ට සාධාරණ මිලක් හිමිවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
වෙළෙඳුන් තොග රැස් කිරීමේදී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට රජය පූර්ණව මැදිහත්විය යුතු බව
ජනාධිපතිවරයා පෙන්වා දෙයි.


2021 සහ 2022 මාස් කන්න සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුත් බීජ රැස් කිරීමේ වැඩපිළිවෙළක
අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කරයි. කූට ව්‍යාපාරිකයන් නීති විරෝධී ලෙස ආනයනය කරන කහ
තොග විනාශ කරන්නැයි ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

අක්‍රමිකතාවන්හි නිරත වන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස රේගු
අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

කහ, බඩඉරිඟු මෙන්ම කවුපි, උඳු, මුංඇට, තල, කුරහන් ආදී ධාන්‍ය තොග රැස් කරන්නන්ට ණය දීම
වෙනුවට පුළුල් වෙළෙඳපොළක් සහතික කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ව්‍යාපාරිකයන් හඳුනා ගනිමින් ණය මුදල්වලට සරිලන භාණ්ඩ තොග තොරතුරු පවත්වා ගන්නා ලෙස
බැංකුවලට උපදෙස් දුන් ජනාධිපතිවරයා ශ්‍රී  ලංකා මහ බැංකුව සිය අධීක්ෂණ කාර්යයන් සංවර්ධන
මූල්‍ය සම්පාදනයට යොමු කළ යුතු බවද පෙන්වා දුන්නේය.

සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ගොවිජන සේවා කොමසාරිස්වරුන් සහ ක්ෂේත්‍ර
මට්ටමේ සියලු නිලධාරීන් ගොවි අස්වනු සාර්ථකව මිලදීගෙන ගොවි ජනතාව ශක්තිමත් කළ යුතුය. එමෙන්ම
සේනා දළඹු උවදුර වැනි කෘමීන්ගෙන් වන හානි වළක්වා ගැනීමට අවධානයෙන් සිටින ලෙසත්
ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.