මාවනැල්ල, මොල්ලිගොඩ ප්‍රදේශයේ කළුගල් කොරියක තිබූ ඩෙටනේටර් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක්
අතුරුදන්වීම සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය විසින් ඇරැඹි පරීක්ෂණ පොලිස්පති චන්දන වික්‍රමරත්න
මහතාගේ නියමයෙන් රහස් පොලිසියට භාරදී ඇත.
මින් ඉහත 2019 ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරයට අදාළ පුපුරන ද්‍රව්‍ය ත්‍රස්තයින් විසින් දේශීය වශයෙන් සපයාගෙන ඇති බවට කරුණු අනාවරණයවී තිබුණ අතර ඒවා ගල් වැඩපළ ආශ්‍රිතව බලපත්‍ර මත රජයෙන් නිකුත් කරන පුපුරන ද්‍රව්‍ය උපයෝගයෙන් තනා ඇති බවටද හෙළිව තිබුණි.



රහස් පොලිසියේ පොලිස් අධිකාරිවරයකු ඇතුළු කණ්ඩායමක් මාවනැල්ල සිද්ධිය සම්බන්ධයෙන් ඇරැඹි පරීක්ෂණයේදී මොල්ලිගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය එම ගල්කොරියට පැමිණ එය පරික්ෂාවට ලක්කර එහි හිමිකරු හා ගල් කොරියේ සේවය කරන සේවකයන් 10 දෙනකුගෙන් පමණ ප්‍රශ්නකොට ප්‍රකාශ ලබාගෙන ඇත.

මාවනැල්ල පොලිසිය විසින් සිදුකරන ලද මෙම විමර්ශනයේදී පුපුරණ ද්‍රව්‍ය තොගය අතුරුදන්වීම
සම්බන්ධයෙන් එක් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුවද වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලිසිය වෙත භාරදුන් බව මේ පිළිබඳව කළ විමසීමකදී සබරගමුව දිසාව භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය.

සැකකරු එම ගල්කොරියේ සේවය කරන පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවත් කෑගල්ල කොට්ඨාස
භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කේ.වී. කීර්තිරත්න මහතා කීය.

මෙම ගල්කොරියෙන් පැහැරගත් පුපුරණ ද්‍රව්‍යවලින් කිසියම් විනාශයක් සිදුකිරීමට හැකියාවක් ඇති බවත්
එමෙන්ම මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය වරින් වර සොරාගෙන ඇති බැව් අනාවරණය වන නිසා එම පුපුරණ
ද්‍රව්‍ය වෙනත් පුද්ගලයන්ට විකිණුවේද එසේනම් එම පුද්ගලයන් කවුරුන්දැයි හඳුනා ගැනීමට රහස් පොලිස්
විමර්ශන සිදුකරන බවත් ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීවේය.


ගල්කොරියේ තිබූ ඇමෝනියම් නයිට්ට්‍රේට් කිලෝග්‍රෑම් 15ක්, වෝටර් ජෙල් ග්‍රෑම් 750ක්, ඩෙටනේටර්
20ක්, වෙඩි බෙහෙත් නූල් මීටර් 35ක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි කියමින් මොල්ලිගොඩ
ප්‍රදේශයේ ගල්කොරියක හිමිකරුවකු විසින් ඉකුත් 22 වැනිදා මාවනැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක්
අනුව මෙහි මූලික විමර්ශන පැවැත්විණි.

කෑගල්ල කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කේ.වී. කිර්තිරත්න මහතා විසින් මේ පිළිබඳ විමර්ශන කිරීම සඳහා මාවනැල්ල ස්ථානාධිපති අසේල හේරත් මහතා ඇතුළු කණ්ඩායමක් පත්කොට ගල්කොරියට සම්බන්ධ වූ සියලු සේවකයන්ගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගන්නා ලදී.

සොරාගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය කළුගල් පිපිරවීම සඳහා යොදාගන්නා ඒවා බවත් එම පුපුරණ ද්‍රව්‍ය
ලෑලි පෙට්ටියක බහා ගල්කොරියේ ගබඩාවේ තබා තිබූ අතර කිසිවකු විසින් එම පුපුරණ ද්‍රව්‍ය තොගය
වරින්වර සොරාගෙන ගොස් ඇති බවත් විමර්ශනවලදී නීරීක්ෂණය වන බවද පොලිසිය කීවේය.

(කීර්ති මෙන්ඩිස්, මාවනැල්ල - කේ. වී බණ්ඩාර)