මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී සිය බිරිද ඝාතනය කළ සැකකාර සැමියාද සියදිවි හානිකරගෙන සිටියදී ඊයේ (03දා) අලුයම සොයාගත් බව මිනුවන්ගොඩ පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්වූයේ, තිදරු මවක් වූ ඉරේෂා ඉවන්ති කුමාරි (අවූ.38) නමැත්තියක වන අතර, ලියනආරච්චිගේ ශාන්ත සුරංජිත් (අවු.43) නමැති සැකකාර සැමියා සියදිවි හානිකරගෙන තිබේ.

මිය ගොස් සිටින දෙදෙනා අතර නිතර ආරවුල් ඇති වී ඇති බවත්, මරණකාරිය මරණයට පත් සැමියා සමග ආරවුලක් ඇති වීමෙන් අනතුරුව දියණියන් දෙදෙනා සමග සිය මවගේ නිවසට ගොස් සිටියදී මරණකරු පෙරේදා (02) එම නිවසට ගොස් මරණාකාරියව පමණික් ඕපාත පිහිටි නිවසට රැගෙන විත් ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.


සිද්ධිය සමිබන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු කේසර සී.ඒ. සමරදිවාකර මහතා විසින් ඊයේ (03) පස්වරුවේදී සිදු කරනු ලැබීය.

එම මරණ දෙකට අදාළ ස්ථාන පරික්ෂණය සහ මල සිරුරු දෙක නිරීක්ෂණය කළ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා මෘත දේහයන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යන ලෙස මිනුවන්ගොඩ පොලිසියට නියම කළේය.

මරණ දෙක සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා එම මරණයට හේතුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගම්පහ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත වැඩිදුරටත් නියම කළේය. පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව එම දේහ මරණකරුවන්ගේ ඥාතීන්ට හෝ භාරකරුවන්ට භාරදීමට කටයුතු කරන ලෙස අධිකරණයෙන් මිනුවන්ගොඩ පොලීසියට නියම කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා සහ ගම්පහ සහකාර පොලිස් අධිකාරී (01) තුසිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රොහාන් මහේෂ්, උපපොලිස් පරික්ෂක මැදගම මහත්වරුන් ඇතුළු නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.

 - ටෝනි කරුණානායක -