"මල් කැකුළු වගේ හිටපු මගේ දරුපැටවු දෙන්නා හොරු අරන් ගියා වගෙයි" යනුවෙන් එගොඩඋයන මාරක රිය අනතුරෙන් මියගිය දැරියන් දෙදෙනාගේ පියා වන මුතුතන්ත්‍රිගේ වාසනා රංග (27) මහතා මරණ පරික්ෂණයේ දී හඬා වැටෙමින් පෙරේදා (6) සාක්කි දෙමින් පැවසීය. පානදුර මොරටුව අතර ගාලු පාරේ එගොඩඋයන ප්‍රදේශයේ පදික මාරුව මත පසුගිය 04 වැනිදා රාත්‍රි යතුරුපැදියක ගැටී මියගිය මාස 11 ක් වයසැති රිතූසි ආකර්ශා කුරේ සහ හත් හැවිරිදි මුතුතන්ත්‍රිගේ රශ්මි මහිමා කුරේ නමැති දැරියන් දෙදෙනාගේ මරණ පරික්ෂණය පානදුර හදිසි මරණ පරික්ෂක දුමින්ද දේවප්‍රිය අධිකාරම් මහතා ඉදිරියේ පෙරේදා (06) දහවල් පැවැත්විණි. සාක්කිකරු මෙසේ ද කීය.
බිරිඳ පොඩි දරුවා වඩාගෙන ලොකු දුව අතින් අල්ලගෙන මහ ගෙදර ගිහින් එන්නම් කියලා ගියා. මම බත් කමින් හිටියේ. ඩෝං ගාලා ශබ්දයක් ආවා. මම බත් පිඟාන තියලා පාරට දිව්වා. බිරිය කහ ඉරේ වැටිලා හිටියා. චූටි දුව ඊට එහායින් වැටිලා හිටියා. ලොකු දුව හිටියේ තවත් එහාට විසිවෙලා. මම දුවලා ගිහින් බිරිඳවයි පොඩි දුවවයි එතන තිබුණ වෑන් එකක දාගෙන ගියා ලොකු දුව ත්‍රීවීල් එකක දාගෙන පානදුර මූලික රෝහලට අරගෙන ගියා.
" අපි පදිංචි වෙලා ඉන්නේ පුංචි ගේක ඒ ගෙදර දරුවන්ගේ දේහ තියන්න ඉඩක් නෑ. ඒ හින්දා අම්මලගේ ගෙදර තමයි දරුවන් දෙන්නාගේ දේහ තැත්පත් කරන්න වෙන්නේ. මගේ බිරිඳට තුන් වැනි දරුවා ලැබෙන්න ඉන්නේ. එයාටත් හොඳටම අමාරුයි. කොළඹ ජාතික රෝහලේ ඉන්නේ මොකද කරන්නේ කියලා මට හිතාගන්නවත් බැහැ. මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මරණ සිදුවී ඇති බවට පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය උත්පල ආටිගල මහතා විසින් නිකුත් කළ වාර්තාවෙහි සඳහන් වී තිබේ.
0 Comments