මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී සුදු ඉරි මාරුවෙමින් සිටි එකම පවුලේ දැරියන් දෙදෙනෙකුට මරු කැදවමින් සිදු වූ යතුරුපැදි අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි ගැබිණි මවගේ දරු කළලය විනාශවූ බව ඊයේ වාර්තාවූ අතර අද දහවල් වාර්තාවන්නේ එම මවද ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
රාත්‍රී පාළු පාරවල් වල රේස් පැදීමේ විනෝදාංශයක් සිදු කරගෙන ගිය වයස 20 ක ළහිරු ප්‍රනාන්දු නමැති තරුණයෙකු නිසා මෙම අනතුර සිදුවූ අතර ඔහු අනතුර සිදු කරන අවස්ථාවේ සුදු ඉරි පනිමින් සිටි අය දැක වේගය බාල කරන්නවත් අසමත්වූ බවත් යතුරුපැදියේ හැපීමෙන් පසු පාරමාරුවෙමින් සිටි දැරියන් සෑහෙන දුරකට විසිවී මියගිය බවත් වාර්තා විය.අවුරුද්දක් වයසැති දැරිය මීටර් 10 ක් සහ අවුරුදු 7ක් වයසැති දැරිය මීටර් 20 ක් පමණ විසිවී ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුර සිදු කළ පසු අසල්වාසී මොරටු ජනතාව එක්රොක්වී අනතුර සිදු කළ පුද්ගලයාට දිගට හරහට පහරදුන් අතර පොලිසිය පැමිණ ඔහුව රැගෙන යන ලදි.
පුදුමයට කාරණාව නම් මෙම තරුණයා අනතුරට දින 2 කට පෙරත් පානදුර පොලිසිය මගින් රාත්‍රී අනාරක්ෂිත යතුරුපැදි ධාවනයේ යෙදීමේ වරදට අත්අඩංගුවට පත්ව තිබීමයි. එයින් පාඩමක් ඉගෙන ගෙන නැති මෙම තරුණයා විනෝදාංශයක් ලෙස මිතුරන් හා එක්ව මේ දේ දිගටම සිදු කරගෙන ගිය බව විමර්ශන වලදී අනාවරණයවී ඇත. ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වල ඔහු රාත්‍රියේ යතුරු පැදි වේගයෙන් පදවන දර්ශන වීඩියෝ ගත කර මිතුරන්ට පෙනෙන්නට ප්‍රදර්ශනය කරමින් තිබී ඇත.
එගොඩඋයන නව ගාලු පාරේ පදික මාරුවේදි රාත්‍රී 9.40ට පමණ ගැබිනි මව අවුරුද්දක් වයසැති දැරිය වඩාගෙන අනිත් දැරිය අතින් අල්ලාගෙන පදික මාරුවෙන් පාර මාරුවීමේදී මෙම ත්‍රිත්ව මරණය සිදුවූ අනතුර තිබුණි. මිය ගිය දැරියන් දෙදෙනා වයස අවුරුද්දක් හා අවුරුදු හතක් වන අතර මියගිය ගැබිණි මව 23 හැවිරිදි වියේ පසුවිය.
 අත්අඩංගුවට ගැණුනු 20 හැවිරිදි යතුරුපැදිකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අනතුරින් පසු තරුණයාට ප්‍රදේශවාසීන් පහරදුන් ආකාරය වීඩියෝව පහතින්