හයිලෙවල් මාර්ගයේ මහරගම නගරයේ පිහිටි ප්‍රධාන බස්නැවතුම නාවින්නට රැගෙන ගොස් මාසයකට පසුවද එහි ජනතාව රැස්වී බස්රථයට ගොඩවීමට පෙළ ගැසී සිටින ආකාරයක් දක්නට නොලැබෙන අතර, පාළුවට ගිය එහිදී මගීන්ට වඩා වැඩි ප්‍රමාණයක් ලංගම සහ පෞද්ගලික අංශයේ කාර්ය මාණ්ඩලිකයන් පිරිසක් දැක ගැනීමට හැකිවිය.
මෙම බස් නැවතුම පිළිබදව විධිමත් ප්‍රචාරයක් ලබා නොදීම, මෙම බස්නැවතුම වෙත ජනතා ආකර්ෂණයක් ඇති නොවීමට හේතු වූවා විය හැකිය. මෙම බස්නැවතුම ඉදිරිපිට සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බැවින්, මෙම ස්ථානය ජනශූන්‍ය ස්ථානයක් ලෙස ලඝු කර දැක්වීමටද නොහැකිය. එහෙත් මෙම නව බස් නැවතුමේ කිසිදු ඉදිකිරීමක් ප්‍රධාන මාර්ගයේ ගමන් කරන්නෙකුට පැහැදිලිව දෘශ්‍යමාන නොවීමද මෙහි ජනතාව ඇදී නොඒමට හේතුවක් ලෙස දැක්විය හැකිය.
නව බස්නැවතුම ඉදිකිරීමට සැලසුම් කිරීමේදී එවකට නාගරික සංවර්ධන සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය මෙය මාර්ගය අද්දර විව ප්‍රදේශය තුළ ඉදිනොකර එහි අභ්‍යන්තරය තුළ ඉදිකිරීමද මෙම නව බස්නැවතුම හුදකලා බස් නැවතුමක් බවට පත්වීමට තවත් හේතුවක් විය හැකිය. මෙහි මගී පර්යන්තයන් ඉදිකර ඇත්තේ එකවර බස් දොළහක ප්‍රමාණයක් නැවැත්වීම සදහා පමණි. ඉන් පර්යන්ත තුනක් පමණක් ලංගම බස්රථ සදහා වෙන්කර ඇති අතර ඉතිරි මගී පර්යන්ත නවයම (9) පෞද්ගලික බස් සදහා වෙන්කර තිබෙනු දක්නට තිබිණ. ඒ හේතුවෙන් මහරගම නගරයෙන් ගමන් ආරම්භ කරන දුරගමන් සේවා රැසකට මෙහි මගී පර්යන්ත සකස් කිරීම මෙම පාලකයට අපහසුවී ඇති ආකාරයක් දක්නට තිබේ. මෙම බස්නැවතුම ප්‍රමාණයෙන් කුඩා වීම නිසා පෞද්ගලික සහ ලංගම බස් රථ රැසක් සදහා එකවර පහසුකම් ලබාදීමද මෙහි පාලකයන්ට පහසු කාර්යක් නොවන තත්ත්වයට පත්ව ඇත.
මහරගම නගරය අපේක්ෂා පිළිකා රෝහලට පැමිණෙන ජනතාවට ගමනාගමන පහසුකම් ලබාදීම ඉලක්ක කර දුර ගමන් සේවා රැසක් ක්‍රියාත්මක වන නගරයකි. ඒ නිසාම මෙහි සිට යාපනය, මාතර, මුලතිව්, අනුරාධපුරය, මහියංගණය, මන්නාරම ආදී දිවයිනේ දසදෙස විහිදී යන බස් සේවාවක් ක්‍රියාත්මක වන බැවින් මෙම නව බස් නැවතුමට ඉහළින් පිහිටි හයිලෙවල් මාර්ගය අද්දර විශාල හිස් භූමියෙන් ප්‍රයෝජන ගෙන ලංගම බස් සදහා නව අංගසම්පූර්ණ බස්නැවතුමක් එහි ඉදිකිරීමේ අවශ්‍යතාවය පැහැදිලිව පෙනේ. දේශපාලකයින් විෂය පිළිබදව ගැඹුරින් අධ්‍යයනයක නියැලීමෙන් තොරව සිදුකරන ඉදිකිරිම මගින් සිදුවන මහා මුදල් නාස්තියට නාවින්න බස්නැවතුම කදිම උදහරණයකි.
මෙම බස් නැවතුම මාකුඹුර බස්නැවතුම තරමටම පිරිසිදුව පවත්වාගෙන යාම පිළිබදව එහි කළමනාකාරිත්වයට පැසසුම් හිමිවිය යුතුය. එහෙත් මෙහි පෞද්ගලික අංශයේ වේලා සටහන්කරුට ස්ථානයක් ලබාදී තිබුණද ලංගම සදහා එවන් කාමරයක් සහ අවම වශයෙන් ලියන මේසයක් පවා හිම්ව නැත්තේ මෙහි කළමනාකාරිත්වයේ වරදකින් නොව මෙහි ඉදිකිරීම් මනා සැලසුමකින් යුතුව සිදුකර නොමැති බව හැගී යන්නේ ලංගම සේවකයින් සදහා ලබාදීමට තරම් ප්‍රමාණවත් කාමරයක් එහි නොමැති බැවිනි.
මෙහි සවිකර ඇති ජල කරාමයෙන් පානීය ජලය නොලැබෙන බවට අප කළ පැමිණිල්ලකට අනුව වහා ක්‍රියාත්මක වූ එහි පාලකවරයා එහි ජල නළ මාර්ග කිහිපයක් ජලය නිකුත් කිරිමේ කරාමයන් විවෘත කළද ජලය ගලානොඒමෙන් විද්‍යාමාන වන්නේ, එහි ඉදිකිරීම් භාර නිලධාරියාගෙන් අතපසුවීමක් සිදුව ඇති බවකි.
මෙහි වැසිකිලි ඉතා පිරිසුදුවට සේවකයින් යොදවා පවත්වාගෙන යන ආකාරය අපට දක්නට ලැබුනද, අපවෙත සමීපවූ එම බස් මගියකු කියා සිටියේ මෙම වැසිකිළි භාවිතය සඳහා රුපියල් විස්සක් වැනි ඉහළ මුදලක් අය කළද, ඒ සඳහා නිකුත් කරනුයේ හෝමාගම බස්නැවතුම වෙනුවෙන් මුද්‍රණය කළ බිල්පතක් වන බවයි.
එසේම පසුගිය ඉරිදා අලුයම එහි පැමිණි ගැබ්බර කාන්තාවක් වැසිකිළියට පිවිසීමට උත්සාහ කළ අවස්ථාවේ එය අගුලුලා යතුර එම බස්නැවතුම් පරිපාලන අංශයේ නිලධාරියෙකු රැගෙන ගොස් තිබීම හේතුවෙන්, එම ගැබිනි කාන්තාව මහත් අපහසුතාවයට පත්වූ බව අප වෙත ප්‍රකාශ කළේ පෞද්ගලික බස් රියැදුරුවරයෙකි. මහරගම නගරයට බස් නැවතුම විශේෂයන් ඉදිකරනු ලැබුවේ මෙම නගරයේ ස්ථාන කිහිපයකින් බස්රථ සිය ගමන් ආරම්භ කිරීම වෙනුවට එක් තැනකින් සියලු බස්රථ ගමන් ආරම්භ කිරිමේ අවශ්‍යතාවය හේතුවෙති. එහෙත් මාර්ග අංක 341 පිළියන්දල, මාර්ග අංක 345පිළිකා රෝහල හරහා කටුවාවල, මාර්ග අංක 212 ජවර්ධනපුර මහා රෝහල, මාර්ග අංක 119 කොට්ටාවපාර හරහා නුගේගොඩ යන බස් සේවාවන් සියල්ලම පෙර පරිදිම ගමන් ආරම්භ කළ ස්ථායන්හිදීම සිය ගමන්වාර ආරම්භ කරන බවට අපට ප්‍රකාශ කළේ මෙම බස් නැවතුමේ කළමනාකාරිත්වයට සම්බන්ධ නිලධාරියෙකු විසිනි.
අප මේ පිළිබදව එම බස්සේවාවන්ට සම්බන්ධ රියදුරන්ගෙන් විමසන විට ඔවුන් සියලු දෙනා වෙතින් පළවූයේ නාවින්නට එන බස්වලටත් මගීන් පටවා ගන්න තරම් පහසුකම් නොමැති එහි තවත් බස් රථ නවත්වන්නේ කෙසේද යන්නත් මහරගම නගරයේ සිට නාවින්න බස් නැවතුම වෙත යාමට තවත් රුපියල් හතරක් වියදම් කිරීමට ජනතාවට මුදල් නොමැති බවත්ය .
- අමිල සංකල්ප -
0 Comments