“යකඩ අංගණය” නිවැරැදි වචනය එයයි!. ඒ යකඩ අංගණය තුළ මෙවන් පුෂ්පයක් කෙලෙස විකසිත වන්නද?
කොයින්ද පස්ගෝරස. නමුත් සියල්ල සිදුවිය යුතු පරිද්දෙන් සිදුව තිබේ. අබලි යකඩ පරදා ඩයිනෝසරයන්,
රාජ නාගයන්, අද්භූත ග්‍රහ වස්තු කරළියට පැමිණ තිබේ. ඒ භාෂා තුන් කට්ටුවක උච්චාරණ විධි විධිමත්
ලෙස භාවිතාවේ යොදවමින්. එකිනෙකට පරස්පර දෑ සිදුවන මෙම යකඩ අංගණය පිහිටා ඇත්තේ නයිවල -
දිවුලපිටිය මාර්ගයේ 11 වැනි පටුමඟේය.  යකඩ අංගණය පසුපස කුඩා නිවෙසේ නිවෙස් හිමියා නිමල් වීරසිංහය. අද දින ඔහු අප
කතා නායකයා නම් නොවේ. අප කතා නායක තැන වන්නේ ඔහුගේ කුඩා පුතු සෙනුර වීරසිංහය. ජනප්‍රිය
භාෂාවෙන් පවසා සිටින විට භාෂා කිහිපයක් කතා බහ කරන නයිවල දරුවාය. මෝටර් රථ අලුත්වැඩියාව
සඳහා පතළ නමක් දිනාගත් නිමල්ගේ පවුලේ වතගොත හෙළිපෙහෙළි කළ විට ඔහුට දරුවන් තිදෙනෙකි. ඒ
දියණියන් දෙදෙනෙක් සහ එක් පුතකු ලෙසය. දියණියන් දෙදෙනා බොහෝසෙයින් සාමාන්‍ය වන අතර
අසාමාන්‍ය වන්නේ සෙනුර වීරසිංහ පුතුය. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණය වන්නේ මෙම සහෝදර
සමාගම වයස් පිළිවෙල මත විශාල පරස්පරයක් හිමි කරගෙන ඇති බවයි. වැඩිමහල් සහෝදරියන් දෙදෙනා
සහ මව, පියා සමඟ හැදෙන වැඩෙන සෙනුර ඉතා බුහුටි කාලයේ සිටම ඔහුගේ පලෝලයෙන් අන්
ළමයින්ගෙන් වෙනස් වන්නේ තම සහෝදරියන් දෙදෙනාම පුදුමයට පත් කරවමිනි. ඔවුන් එකම ජීවිත
කොන්දේසිවලට මුහුණ දුන්නද සැලකිය යුතු ලෙස එකිනෙකාගෙන් වෙනස් වේ. ප්‍රවේණියේ රීතීන් සමඟ
සැසැඳීමේදී ජීවිත කොන්දේසිවල ඍජු ප්‍රතිඵලයන් කොතරම් නොවැදගත් වන්නේද යන්න නියමාකාරයෙන්
පෙන්වා දෙන්නේ කුඩා සෙනුරය.


කුඩා සෙනුරගේ ලෝකයේ වීරයන් විය යුතු පරිද්දෙන්ම ඩයිනෝසරයන්ය, නාගයන්ය, අද්භූත ග්‍රහ වස්තූන්ය.
නමුත් එහි ඇති සුවිශේෂීභාවය නම් මාරපොළ ප්‍රාථමික විද්‍යාලයේ දෙවැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන
මෙම සිඟිත්තා තමන්ගේ ලෝකය අන් අයට නිරාවරණය කරන ආකාරයය. ඔහු ඩයිනෝසරයන්ගේ අතීත විත්ති
දනී. රාජ නාගයන්ගේ ක්‍රියාකාරිත්වය දනී. ක්ෂිතමය අත්දැකීම් තමා විඳි බව දනී. ඉන්ද නොනැවතී
ඒවා වචන අතරට රැගෙන ඒමටද උත්සාහ ගනී. බාගදා ඒ කුඩා සෙනුරගේ ඇබ්බැහිය සහජාසය සමඟ
බද්ධ වීම නිසා වන්නටත් ඇති. සෙනුර, සෙනුරගේ ලෝකය අපට සවිස්තර කරාවි. එයට පෙරාතුව ඒ ලෝකය
නිර්මාණය වූ ආකාරය අප දතයුතු වේ. ඒ සඳහා සුදුස්සා සෙනුරගේ පියා නිමල් වීරසිංහය.

“මට දරුවො තුන්දෙනක් ඉන්නවා. වැඩිමලා ලොකු දුව. එයා මේ වෙද්දි විවාහ වෙලා. දෙවැනි දුව සහ
ලොකු දුව අතර විශාල වයස් පරතරයක් තියෙනවා. කුඩා පුතු සහ දෙවැනි දුව අතරත් එවැනිම වයස්
පරතරයක් තියෙනවා. මගේ රැකියාව මෝටර් රථ අලුත්වැඩියාව. සාමාන්‍යයෙන් මෙම රැකියාවෙන්
තමන්ගේ අනාගතය සුරක්ෂිත කර ගැනීම හීනයක්.

දෙවැනි දුව ඉපදිලා අවු 13කට පසුව තමයි සෙනුර පුතා උපදින්නේ. දැන් පුතාට අවුරුදු 07ක් වෙනවා.
මගේ එකම අරමුණ වුණේ මගේ පවුල හොඳින් පෝෂණය කරන එක. පුතා අධ්‍යාපනය සඳහා ඇතුළත් කළේ
මාරපන ප්‍රාථමික විද්‍යාලයට. පුතා ඉපදිලා වයස අවු දෙකහමාරක් වුණාට පස්සේ එයා ටිකෙන් ටික
ඉංගී්‍රසි වචන කියන්න ගත්තා. ඊට අමතරව හින්දි භාෂාවේ වචනත් කියන්න ගත්තා. ඊට අමතරව සමහර
අවස්ථාවලදී පෙර භවයන් ගැන කියන්න ගත්තා.

ඊට අමතරව ග්‍රහලෝක ගැන වගේම ලෝකයේ ලෝක සිතියමේ එක එක රටවල් පිහිටලා තියෙන තැන් ගැනත්
අපිට විස්තර කරන්න ගත්තා. සමහර සිදුවීම් බොහෝම ඉක්මනින් එයා අමතක කළත් ඉංගී්‍රසි භාෂාවයි,
හින්දි භාෂාවයි කතා කරන එක නතර කළේම නැහැ. අපි මුල් අවස්ථාවන්වලදී ඒ ගැන ලොකුවට හිතන්න
ගියේ නෑ. මම හැම වෙලාවෙම හිතුවේ මෙය සාමාන්‍ය තත්ත්වයක් කියා. මෙතැනට එන අයගේ
අවධානය දරුවාට යොමු වුණාට පස්සේ දරුවා ඉංගී්‍රසි දන්න උදවිය සමඟ කතා කළේම ඉංගී්‍රසි භාෂාවෙන්.

ඒ හැමෝමත් එක්ක දරුවා ඉංගී්‍රසියෙන් කතා කරද්දී අපේ අවධානයත් එයාට යොමු වුණා. හැබැයි එයා
දිගින් දිගටම හින්දි වචන කතා කළේ එයා එක්කමයි. මොකද අපිවත් මෙතැනට එන යන අයවත් හින්දි
භාෂාව දන්න අය නොවෙයි. පුතා පුංචි කාලේ ඉඳලම නවීන තාක්ෂණයට වැඩි ප්‍රියතාවක් දැක්වූවා. ඒ
නිසා එයාට අපි තාක්ෂණික උපකරණ  හැකි අයුරින් අරගෙන දුන්නා. සෙල්ලම් බඩුවක් ඉල්ලුවත් එයා
තෝරගත්තේ අනිත් ළමයි තෝරගන්න සෙල්ලම් බඩු නොවෙයි. විශේෂයෙන් ඩයිනෝසරයන්, සර්පයන් වැනි සෙල්ලම්
බඩු තමයි එයා තෝරගත්තේ. ඒ සත්තුන්ට එයා කොච්චර ආදරේද කියනවා නම් අපිට හොරෙන් ඒ සත්තු
පාසලට පවා රැගෙන ගොස් තිබෙනවා. ඔවැනි තත්ත්වයක් තමයි එයා පුංචි කාලේ ඉඳලම පෙන්නුවේ.

පියා පුතුගේ අතීතය පෙළගස්වා සිටියේ ඒ ආකාරයටය. මම එය හඟනුයේ සුවිශේෂී මිසක් අද්භූත කරුණු
පෙළගැස්මක් නොවන ලෙසය. වීරසිංහ ආරච්චිලාගේ සෙනුර අනුහස් නම් මේ කුඩා දරුවා දරුවන් අතර
සුවිශේෂය. ඔහු යමක් ග්‍රහණය කරගනු ලබන්නේ අන් දරුවන්ට වඩා වැඩි වේගයකිනි. පෙරළා තමා
ග්‍රහණය කරගත් දෑ වචන මඟින් පිටතට දමන්නේද එයාකාරයටමය.  නිමල්ගේ ලෝකය ළමා
මනෝවිද්‍යාවෙන් සහ අධ්‍යාපනයෙන් පිරී ගිය එකක් නොවේ. ඔහු වැර වෑයම් කරන්නේ එදිනෙදා ජීවිකාව
සවි කර ගැනීමටය. ඒ සඳහා යකඩ සමඟ හරි හරියට ඔට්ටුවන නිමල් ඉන් පැසසිය හැකි මට්ටමේ ජීවිත
ජයග්‍රහණයක් ලබන්නේද නැත. සරලව පවසා සිටියහොත් ඔහු අදටත් කුලී නිවැසියෙකි. ඔහුගේ සමාජ
සැකැස්ම ලංකාවේ පොදු සමාජ සැකැස්මය. ප්‍රථමව සඳහන් කළ පරිදි මෙවන් පරිසරයකදී සෙනුර වැනි
පුෂ්පයක් විකසිත වීම සැබෑම අහම්බයකි.

“සත්තු එක්කම ජීවත්වෙන්න තමයි පුතා වැඩිපුර කැමැති වුණේ. සාමාන්‍යයෙන් සත්තුන්ගේ බාහිර ස්වරූපය
ගැන පමණක් නොවෙයි ඔවුන්ගේ ශරීරයේ කොටස් ගැනත් පුතා සැලකිලිමත් වුණා. ඩයිනෝසරයෙක් ගෙනත්
දුන්නම සතාගේ කොටස් වෙන් කරලා අධ්‍යයනය කරන්න ගත්තා. සාමාන්‍යයෙන් දරුවෝ සෙල්ලම් බඩු
කඩලා ආයේ හදන්න කැමැති උදවියනේ. ඒ නිසා ඒ ගැන අපි වැඩි සැලකිල්ලක් දැක්වූවේ නැහැ. ඔය
අතරතුර තමයි එයා උදැල්ලක් අරගෙන වත්ත හාරන්න ගත්තේ. ඒ වෙද්දි එයාට උදැල්ලක් උස්සගන්නවත්
බැහැ.


අපි මොකද කරන්නේ කියලා ඇහුවම එයා කිව්වා ඩයිනෝසරයන්ගේ ඇටකටු හොයන්න තමයි පොළොව හාරන්නේ
කියලා. ඒ ඇරුණම එයා හැමවෙලේම කියන්න ගත්තා අපේ ලෝකෙට අමතරව තව ලෝකයක් තියෙනවා
කියලා. ඒ ලෝකය සමඟ එයා සම්බන්ධකම් පවත්වනවා කියලා. මෙතැනට එන අය දරුවාගේ ඔළුව නරක්
කරලා කියලයි අපි මුලින්ම හිතුවේ. ඒත් දරුවා පිටසක්වළ ජීවීන් ඇවිල්ලා ගිය තැන් ගැන කියන්න ගත්තා.
එයා එක අවස්ථාවක අහසේදී අනතුරකට ලක්වුණා කියලත් කියන්න ගත්තා. එයා කියන සමහර දේවල්
මෙතැනට ආපු අය ඉතිහාසය එක්ක ගැළපුවා. එතකොට එයා කියනවා වගේ දේවල් ඒ ඉතිහාසය තුළ
ඇත්තටම සිදුවෙලා තියෙනවා. මෙතැනට ආපු මහත්වරු පෙළක් වෙලාවට ආපු වැඩේ අතඇරලා දාලා
දරුවා එක්ක කතා බහට මුළු කාලයම වෙන්කළා.

ඔයා මේ වගේ දෙයක් දන්නේ කොහොමද කියලා අපි ඇහුවොත් එයා කියන්නේ ඒක රහසක් කියලා. ඒ රහස
හෙළි කරන්න බැහැ කියලත් එයා කියනවා. පස්සට පහු මෙතැනට එන අය ඉංගී්‍රසි භාෂාව දන්න අයයි,
හින්දි භාෂාව දන්න අයයි මෙතැනට එක්කන් ආවා. ඒ අය කීවේ මේ දරුවා ඒ භාෂා දෙක පිළිබඳව
විශාල දැනුමක් ලබාගෙන තියෙනවා කියලා. ඊට පස්සේ තමයි මේක සමාජගත වුණේ. ගොඩක් අය කැමැති
වුණේ දරුවා ඉංගී්‍රසි කතා කරනවාට වඩා ඉංගී්‍රසි භාෂාව හසුරුවන විදිහට. හින්දි භාෂාව කතා
කරද්දි එයා හැසිරෙන්නේ ඉන්දියන් ජාතිකයෙක් විදිහට.” එසේ පවසා සිටින්නේද සෙනුරගේ පියාය.

මාධ්‍ය සෙනුරව රැගෙනවිත් ඇවිත් ඇති දුර සුළුපටු නොවේ. නමුත් ලංකාවේ මාධ්‍ය භාවිතාව තුළ සෙනුර
යම් යම් අඩන්තේට්ටම්වලට ලක්ව ඇති බව නම් කිවයුතුමය. ඒ නිසා සෙනුර නිරීක්ෂණ කිරීම ඔහුට සවන්දීම
හැර යමක් අප දෙදෙනා අතර සිදුනොවූ බව කිව යුතුමය. විටෙක ඩයිනෝසරයකු රැගෙන මා ඉදිරියට
පැමිණි සෙනුර “මම මෙයා එක්ක තමයි ස්කූල් යන්නේ” පවසයි. තවත් විටෙක ගුවන් යානයක් රැගෙන
පැමිණෙන සෙනුර “එයාර් ප්ලේන් ඇටෑක්” එකක් පිළිබඳ වචන ගොනු කරයි. ඒ වචන අතර පැහැදිලි
ඉංගී්‍රසි වචනද හින්දි වචනද වේ. සෙනුර සමඟ ගත කළ කාලයේ ඔහුගේ මුවින් පිටවූ වදන් මෙලෙස
පෙළගැස්විය හැකිය.

“ලෝකය අත්භූතය. එය සොයා යා යුතු දෙයකි. ඒ අද්භූත ලෝකයේ රජුන් වන්නේ ඩයිනෝසරයන් සහ
නාගයන්ය. මේ ලෝකය තුළ තවදුරටත් ගවේෂණය නොකළ ස්ථාන තිබේ. ඒවා බහුතරයක් වැලිවලින් වැසී
ඇත. ඒ ඩයිනෝසරයන් උපන් ස්ථානය. අදටත් නාගයන් ගැවසෙන ස්ථානය. භාවනාව මඟින් යම් යම් දේ
වෙනස් කළ හැකිය.

විශේෂයෙන් රහස් ලෝකයට හෙළි කළ හැකිය. පෙළොව මතුපිටදී දේවල් එකිනෙකට ගැටෙන ලෙස අහස්
තලයේදීද එවැනි දේ සිදුවේ. එලෙස වන්නේ වේගයෙන් පැමිණෙන කුරුල්ලන් දෙදෙනකු අහසේදී හොට
පටලාගන්නා ආකාරයටය. මේ සියල්ල අතරතුර සුවිශේෂී රහස්ද තිබේ. එම රහස් හෙළි කළ හැකි ඒවා නොවේ.”

මේ සියලු වචන හරඹයන් මැද සෙනුර ඉතා නිරවුල්ව පෙන්වා දෙන්නේ තමා තවදුරටත් ඉතාම සුරතල් කුඩා
සිඟිත්තකු බවය. පෙර සඳහන් කළ පරිදි සෙනුරගේ ඇබ්බැහිය හැමවිටම වචනයට නඟාගත නොහැකි දෑ
සමඟය. ඒ නිසා බහුතර සමාජයට සෙනුර පුතු දරුවකු නොවෙයි - නොවන්නේද නොවෙයි. එවැනි තත්ත්වයකට
පත්ව සිටින්නේ කවරෙක් වූවද ඔහු සුවිශේෂීය. එය අවිවාදිතය. පෙර සඳහන් කළ පරිදි සෙනුරගේ මෙම
සුවිශේෂී බව ඇබ්බැහිය නිසාම නොව තමන්ගේ ඇබ්බැහියට තමන්ම දිරි දීම නිසා සිදුවන්නට ඇති ඉඩකඩ
බොහෝය. බොහෝ ක්‍රියාවන් අවිඥානිකව ඉටුවන විට එම ක්‍රියාවන් සවිඥානික අභිමතයට ඍජුවම විරුද්ධද
නොවේ.

එහි සරල අදහස වන්නේ ඇබ්බැහිකම පහසුවෙන් අනිකුත් ඇබ්බැහිකම් සමඟ ශරීරයේ නිශ්චිත කාල පරිච්ඡේදයන්
සහ තත්ත්වයන් සමඟ සම්බන්ධවන බවයි. යම්  ක්‍රියාවක් වරක් සිදුවූ විට එය ජීවිතය පුරාවට ස්ථීරව පවතී
යැයි උපකල්පනය කරන්නේ ඒ නිසාය. සරලව සිතන්න............ පුද්ගලයකු ගීතයක් මුමුනන විට හෝ
කටපාඩම් කරන විට යම් බාධාවක් සිදුවූවේ නම් ඔහු නැවැත ඒ ගීතය පිළිබඳ තමන්ගේ මතකය ප්‍රකෘතිමත්
කරගත යුතු නොවේද?

මෙම සුවිශේෂී සිඟිත්තාව අප සමාජයක් ලෙස රැකගත යුතුය. ඇතිදැඩි කළ යුතුය. සෙනුර ලෙස ඉතා කුඩා
වියේදී මෙවැනි පෙළහර පෑ දරුවන් අතර සංගීතඥ මොසාඩ් සහ ගණිතඥයකු වූ ලයිස් කැෆ්කාල් ලොවට
පෙන්වා දුන්නේ තමන් කෙතරම් සුවිශේෂී වූවත් හැකියාව වර්ධනය කරගැනීම විනා තමන්ට අනාගතයක් නොකියු
බවයි. සැබැවින්ම මේ බව දැන සෙනුර වැනි සුවිශේෂී සිඟිත්තන් සමඟ යහපත් සබැඳියාවක් ජනමාධ්‍ය
පවත්වාගෙන යා යුතුය.

ඔහුගේ අනාගතය සුරක්ෂිත වන්නේ එවිටය. ඒමුත්; මුද්‍රිත මාධ්‍යයෙන් බැහැර සමාජ මාධ්‍ය තුළ
එවැනි තත්ත්වයක් දක්නට නොලැබේ. සෙනුර පුතු ඔවුන්ට තවත් එක් “වීව්ස්” එකක් පමණි. හැඩතල යසට
පෙනෙන්නට ඇති ජීවිතයක් මොන එහෙකට “වීව්ස්” මත අතරමං කර දමනවාද? මෙම සමාජ මාධ්‍යකරුවන්
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත්‍රපටයේ පොඩි මහත්තයා සේය. සූටියාගේ පුතු සේන
අනුලාගේ ඇස් නොපෙනීම සම්පූර්ණයෙන්ම සුව කළ බව පවසන අපූරු පොඩි මහත්තයා සේය.

කතාව පින්තූර -

ප්‍රභාත් අත්තනායක (මව්බිම)