ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා කටුනායක ආයෝජන කලාපයේ මස් ආශ්‍රිත නිෂ්පාදන  කර්මාන්ත ශාලාවක් විවෘත කර තිබුණි.
මේ ගැන සමස්ත අමරපුර නිකායේම විරෝධය හා පිළිකුල ප‍්‍රකාශ කරන ලෙස තමන්ට මහනායක හිමියන් දැනුම් දුන් බවත් අමරපුර මහා නිකායේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනු නාහිමියෝ ඊයේ (18) කොළඹදි පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් දන්වා සිටියහ.

මෙම අවස්ථාවට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, ශාස්ත‍්‍රපති පූජ්‍ය රජවත්තේ වප්ප හිමි, ශාස්ත‍්‍රපති පූජ්‍ය පස්සරමුල්ල දයාවංස හිමි, පූජ්‍ය මතුරට ධම්මරතන හිමි, පූජ්‍ය මතුරට ධම්මාලංකාර හිමි, පූජ්‍ය ධම්මික හිමි ඇතුළු මහා සංඝරත්නය ද සහභාගි වී සිටියහ.
මේ අතර කටුනායක අපනයන සැකසුම් කලාපයේ විවෘත කරන ලද විදේශීය හා දේශීය ආහාර සැකසුම් කර්මාන්ත ශාලාව තමාව සම්බන්ධ කර ගෙනයන ෆේස්බුක් මඩ ප‍්‍රචාරයක් යයි නාමල් රාජපක්ෂ දන්වා තිබේ. ඔහු මෙසේ කියයි.
‘මේ මස්, තවත් ආහාර වර්ග ප‍්‍රතිඅපනයනය කරන සමාගමක්. මේකට ලංකාවේ සම්බන්ධයක් නැහැ. එම සමාගමේ අයිතිකරුවන් මට ආරාධනාවක් කරපු නිසා ආරාධිතයෙක් විදිහට මම එතැනට ගියා. මේක මගේ ව්‍යාපාරයක් නොවෙයි. දේශීය ව්‍යාපාරිකයෙක්ගේ ව්‍යාපාරයක් නිසා මම එතැනට පොඩි වෙලාවකට ගියා. මේක ගව ඝාතකාගාරයක් කියලා මාවත් සම්බන්ධ කරලා ෆේස්බුක් එකේ මඩ ප‍්‍රචාරයක් යනවා.

‘‘මම නිර්මාංශ කෙනෙක්. මෙතනට මස් ගේනවා වගේම නිර්මාංශ ආහාරත් නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ වෙජිටේරියන් ආහාරත් මෙතන තියෙනවා. මේක මගේ තැනක් නොවෙයි. යම් යම් අය බලන්නේ අපිට පුළුවන් තරම් මඩ ගහලා වින්දනයක් ලබන්නයි.
දේශීය ව්‍යාපාරිකයෙක් රටට ආදායමක් එන ව්‍යාපාරයක් කරනවා නම් එය අගය කළ යුතුයි. මෙවැනි දේශීය ව්‍යාපාරිකයන් තනන එකයි අපි කළයුත්තේ. නමුත් අද මේ සමාජයේ ඉන්න අය කරන්නේ ෆේස්බුක් අවභාවිතා කරමින් අනුන්ට මඩ ගහන එකයි.”