2021 ලංකාවේ ආර්ථිකය කොහොම වේවි දැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. කොරෝනා හමුවේ රටේ ආර්ථික දියුණුව ගැන හිතන්න නොහැකි බව බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙනවා. ඒත්, අපේ රටේ මුදල් මෙරටදීම ඉතුරු කරන ගමන් විදේශ විනිමය ගෙනඑන්නට හැකි දැවැන්ත සිමෙන්ති කර්මාන්තශාලාවක් මේ වෙද්දී මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63ක භූමි භාගයක ඉදිවෙමින් පවතිනවා. අතිනවීන තාක්ෂණයෙන් යුතු මේ සිමෙන්ති කර්මාන්තශාලාව දකුණු ආසියානු කලාපයේ දැවැන්තම කර්මාන්තශාලා අතරින් එකක් වනු ඇති අතර එළඹෙන ජූනි මාසයේදී විවෘත කිරීමට නියමිතයි.



ජාත්‍යන්තරය තුළ පවා ශ්‍රී ලාංකේය නාමය සනිටුහන් කළ කීර්තිමත් ව්‍යවසායකයෙකු වන නන්දන ලොකුවිතාන මහතා ලංකා සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපතිවරයා වෙනවා. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Onyx Group, ඩුබායිහි Marriot Al Jadaf හෝටලය, Marangoni Industrial Tyres Lanka (පුද්) සමාගම මෙන්ම 2021 ජනවාරියේදී ඉදිකිරීම් අවසන් වන හොරණ සමාගමේ ප්‍රධානියා ද වෙනවා.
සියයට සියයක් ලාංකේය ආයෝජනයක් වන මෙම කර්මාන්තශාලාව මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජීවත් වන  දහස් සංඛ්‍යාත පිරිසකට සෘජු හා වක්‍ර රැකියා උත්පාදනය කිරීමට නියමිතයි. පරිසර හිතකාමීත්වය පෙරටු කරගත් මෙහි නිෂ්පාදන කටයුතු වලදී අතිනවීන යුරෝපීය තාක්ෂණය භාවිත කෙරෙනවා.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වන ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාවේ මුල් අදියරේ ආයෝජනය ඇ.ඩො.මි. 70 ක් වෙනවා. මෙහි නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4 ක් වනු ඇති බවට ඇස්තමේන්තු ගතකර තිබෙනවා. මෙහි දෙවැනි අදියරේදී නිෂ්පාදන ධාරිතාව තවත් මෙට්‍රික් ටොන් 1.2 කින් ඉහළ දැමීමට නියමිතයි.
ලංවා සංස්ථා සිමෙන්ති (පුද්) සමාගමේ සහෝදර සමාගම වන්නේ මෙරට ප්‍රමුඛතම වානේ නිෂ්පාදන සමාගම වන සිලෝන් ස්ටීල් කෝපරේෂන්ය.
ලංවා සංස්ථා සිමෙන්ති කම්හලේ සියලුම මිශ්‍ර කිරීමේ කටයුතු Gebr Pfeiffer යන්ත්‍ර භාවිතයෙන් සිදුකෙරෙන අතර නිෂ්පාදන ක්‍රියාවලියට භාවිත කෙරෙන යන්ත්‍රෝපකරණ බොහොමයක් නවෝත්පාදන සඳහා ලොව පිළිගත් Siemens සමාගම මගින් විශේෂයෙන් සැලසුම් කර තිබෙනවා. මෙහි ඇසුරුම්කරණ කටයුතු වලදී කාර්යක්ෂමතාව වැඩිකරමින් ඉහළ ඵලදායීත්වයක් ළඟාකරගැනීමට නවීන FLSmidth තාක්ෂණය භාවිත කෙරෙනවා.
මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ගෙනදෙන ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව 2021 හැදෙන රට වෙනුවෙන් සිදුකරන සුවිශේෂී ආයෝජනයක් වනු ඇත.