නිවෙසින් බැහැරව නිරෝධායනය වූ පිරිසකගේ නිවෙස බිඳ දේපළ සොරාගත් බව කියන සහෝදරයන් දෙපළක ඇතුළු තිදෙනකු සොරාගත් දේපළ සමග අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි.
සොරාගත් දේපළවලින් කොටසක් ද සමග මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව සාන්ත ජෝශප් පාරේ පදිංචිකරුවන් තිදෙනෙකි. ඔවුන් අවුරුදු 19, 20 සහ 24 වියැති තරුණයන් බව පොලිසිය කියයි.
පසුගිය ඔක්තෝබර් 10 වැනිදා සිට නොවැම්බර් 2 වැනිදා දක්වා කාලයේ මෙම නිවැසියන් නිරෝධායනයට ලක්කර සිට ඇති අතර ඔවුන් එම කාලය ගත කර ඇත්තේ ගාල්ලේ පිහිටි නිරෝධායන මධ්යස්ථානයකය. නිරෝධායනය අවසන් කර පැමිණි අවස්ථාවේ තම නිවෙස සොරුන් විසින් බිඳ ඇති බවට මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබිණි. නිවසට ඇතුළු වූ සොරුන් එහි තිබූ විදුලි උපකරණ, රන් ආභරණ ඇතුළු දේපළ මෙසේ සොරාගෙන තිබිණ. පොලිස් කණ්ඩායම් පරික්ෂණ පැවැත්වීමේදී මෙම නිවෙස බින්ද බව කියන සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසියට හැකි වී තිබේ. මේ කාලයේ සැඟවී සිටි සැකකරුවන් පසුගිය (12) දා නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට ඉදිරිපත් වීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් පරික්ෂණවලින් ලද තොරතුරු අනුව නිවෙස බිඳ සොරකම් කර විකුණා තිබූ විදුලි භාණ්ඩවලින් කොටසක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ. සැකකරුවන් මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
- පුෂ්පකුමාර මල්ලවආරච්චි -
0 Comments