පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනපති විමර්ශන කොමිසමට අපහාස කළ අයකු ලෙස නීතිපති සම්බන්ධීකාරක නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය නම් කරන්නැයි නීතිපති දෙපාරතමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාරී මහතාගේ නීතිඥවරයා කළ ඉල්ලීම එම කොමිසමේ බහුතර තීරණයෙන් ඊයේ (21) ප්‍රතික්ෂේප විය.
සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු භාරව සිටි මලික් අසීස් සහ අසාද් නවාවි යන නිලධාරීන් එම කටයුතු පැහැර හැරීමට විනය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා කළ නිර්දේශයට රාජ්‍ය සේවා කොමිසමෙන් පසුගිය 15 වැනිදා පිළිතුරු ලැබී ඇතැයි නිශාරා ජයරත්න මෙනවිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෘ මහතා කොමිසම හමුවේ පැවසීය.
ඒ සම්බන්ධයෙන් කොමිසමට යමක් දැන්වීමට ඇත්නම් නිසි ක්‍රියාදාමය අනුව දෙපාර්තමේන්තුව මාර්ගයෙන් දන්වන ලෙස කොමිසමේ සභාපති විනිසුරුවරයා ඔහුට දැන්වීය. නිශාරා ජයරත්න මෙනෙවිය කොමිසම හමුවේ ඊයේ (21) දෙවැනි දිනට සාක්ෂි දුන්නේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනි.
සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය 2017 වසරේදී යොමු කළ ලිපිගොනුව සම්බන්ධයෙන් නිසියාකාරව ක්‍රියාත්මක වූවාද නැද්ද යනුවෙන් පවතින ප්‍රශ්නයට අදාළව කරුණු පැහැදිලි කරමින් හා උපදෙස් ලබාදෙමින් නීතිපතිවරයා 2019 ජුනි මාසයේදී එකල සිටි වැඩ බලන පොලිස්පතිවරයාට යොමුකරන ලිපිය පදනම් කරගනිමින් නිශාරා ජයරත්න මෙනවිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ බව අසාද් නවාවි මහතාගේ නීතිඥවරයා කොමිසමේදී මීට පෙර සඳහන් කළේය. ඒ අනුව එම මාධ්‍ය නිවේදනය
සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජයරත්න මෙනවිය පසුගිය සිකුරාදා (18) කොමිසමට කැඳවනු ලැබිණ.
එම ලිපිගොනුව භාරව කටයුතු කරනු ලැබ තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි සහ රජයේ අධිනීතිඥ මලික් අසීස් යන මහත්වරුන්ය.
එහිදී නවාවි මහතා වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ ප්‍රශ්න කිරීම් අනුව තමන්ටද නීතිඥ සහාය ලබාගැනීමට අවශ්‍යම යැයි ජයරත්න මෙනවිය කළ ඉල්ලීම පරිදි සාක්ෂි විභාගය ඊයේ දිනය දක්වා කල්තබනු ලැබීය.
අසාද් නවාවි මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා, නිශාරා ජයරත්න මෙනෙවිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් නීතිඥ සහය සඳහා පෙනී සිටීමට තමන් විරුද්ධ බව සාක්ෂි විමසීම ආරම්භයේදීම සඳහන් කළේය.
එහෙත් ජයරත්න මෙනෙවිය වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෘ මහතා සඳහන් කළේ එසේ පෙනී සිටීමේ කිසිදු ගැටලුවක් නැති බවය.
ජයරත්න මෙනවියගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළ නීතිඥ ශවීන්ද්‍ර මහතා ඊයේ දිනයේත් පෙර දිනයේදී සේ නීතිපතිවරයා පොලිස්පතිට යොමු කළ ලිපියේ දැක්වෙන්නේ ඔහුගේ මතය නේදැයි යළිත් විමසන්නට විය. එයට විරෝධය පෑ ජයරත්න මෙනවිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආබෘ සඳහන් කළේ මේ පැනය පසුගිය වතාවෙත් දහඅට වතාවක් පමණ විමසා ඇති අතර තම සේවාදායිකාව ඊට දැනටමත් පිළිතුරු ලබාදී ඇති බවය.
සාක්ෂිකාරිය - ඒ ලිපියේ දක්වා ඇති සියලු කාරණා නීතිපතිවරයාගේ මතය නෙවෙයි. වැඩ බලන පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස් පමණයි. මේ ලිපියේ ස්ථාන දෙකක උපදෙස් දෙමි කියලත් සඳහන් වෙනවා.
කාසියක දෙපැත්තක් තිබෙනවා ස්වාමීනි. මෙහි එක පැත්තක් තමයි අසම්පූර්ණ ගොනුවක් නිසා ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කරන්න කියලා නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දීම. අනෙක් පැත්ත ස්වාමීනි අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වගකීම පැහැර හැරිමක් කළාද කියන කාරණය පොලිස්පතිවරයාට දැනුම්වත් කළ යුතුත් නැහැ කියන එක.
නීතිඥ ප්‍රනාන්දු - ස්වාමීනි ඇය තවමත් පෙර දිනයේ වගේමයි උත්තර දෙන්නේ. අහපු ප්‍රශ්නයට ඇය කාගෙ හරි ඉල්ලීමක් මත දිගින් දිගටම වමාරනවා. මා අද යළිත් ඉල්ලා සිටිනවා ඇය මේ කොමිසමට අපහාස කළ කෙනෙක් ලෙස සලකා කටයුතු කරන්න කියලා ස්වාමීනි.
මෙහිදී නිශාරා ජයරත්න මෙනෙවිය ජනාධිපති කොමිසම හමුවේ සංවේදී වූවාය. හැඬුම්බරව ඇය සාක්ෂි ලබාදෙමින් මෙසේ පැවසුවාය.
සාක්ෂිකාරිය - මම කොමිසමට අපහාස කළා කියලා මාධ්‍ය හරහා ප්‍රචාරය කරලා සතුටක් ලබන්න මේ අයට අවශ්‍යනම් එය අසාධාරණයි ස්වාමීනි, මම කිසිදු අවස්ථාවක මේ ගරු කොමිසමට අපහාස කළේ නැහැ. අහපු සියලුම ප්‍රශ්නවලට උත්තර දුන්නා. මම නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිසා ඒ නිලයට හා නමට කැළලක් එක්කරන්නයි මේ අය උත්සහ කරන්නේ. එය කනගාටුවට කරුණක් ස්වාමීනි.
නිශාරා ජයරත්න මෙනෙවිය ජනාධිපති කොමිසමට අපහාස කළේද නැත්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපති කොමිසම බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලැබිණ.
ඇය කොමිසමට අපහාස වන සේ හැසිරී ඇතැයි කොමිසමේ සභාපති විනිසුරුවරයා තීරණය කළද සෙසු සාමාජිකයන් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජයරත්න මෙනෙවිය කිසිදු ආකාරයකින් ජනාධිපති කොමිසමට අපහාස කර නැතැයි ප්‍රකාශයට පත් කරනු ලැබිණ.
- මුදිතා දයානන්ද -
0 Comments