නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න පාස්කු කොමිසම ලබාදුන් අවවාද නොසලකා එම කොමිසමට අපහාස කළ බවට නැගුණු චෝදනා සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ ඉදිරි නෛතික පියවර නොගැනීම ජනාධිපති කොමිසමේ බහුතර මතය අනුව ඊයේ (21 වැනිදා) තීරණය විය.
මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනිය ජනාධිපති කොමිසම හමුවේ කඳුළු සලමින් සංවේදී වූවාය.
ඇය කඳුළු සලමින් සංවේදී වී ප්‍රකාශ කළේ කොමිසමට අපහාස කළා කියන පුවත මාධ්‍ය මගින් පළ කිරීමෙන් තමාගේ නමට අපහාස වීමට ඉඩනොදෙන ලෙසයි. තමා කොමිසමෙන් සමාව ගන්නා බවද පැවසුවාය.
'මම කොමිසමට අපහාස කළා කියලා මාධ්‍ය හරහා ප්‍රචාරය කරලා සතුටක් ලබන්න මේ අයට අවශ්‍ය නම් එය සාදාරණයි ස්වාමීනි. මම කිසිදු අවස්ථාවක මේ ගරු කොමිසමට අපහාස කළේ නැහැ. අහපු සියලුම ප්‍රශ්න වලට උත්තර දුන්නා. මම නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනිය නිසා ඒ නිලයට හා නමට කැළලක් එක්කරන්නයි මේ අය උත්සහ කරන්නේ. ඒක කණගාටුවට කරුණක්.'
නිෂාරා ජයරත්න කොමිසම හමුවේ ඉකුත් බ්‍රහස්පතින්දා සහ ඊයේ (21 වැනිදා) ලබාදුන් අවවාද නොසලකා හරිමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභා පනත සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව අභියාචනාධිකරණය ට වාර්තා කළ යුතු බව කොමිසමේ සභාපති විනිසුරුවරයාගේ මතය බව සභාපතිවරයා කියා සිටියේය.
ඒ අනුව රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න ජනාධිපති පරීක්ෂණ කොමිසමට අපහාස කළේද නැද්ද යන්න පිළිබඳව එම කොමිසමේදී බෙදුණු මතයක් ප්‍රකාශ විය.
නමුත් කොමිසමේ බහුතර මතය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරුවරයා සහ සාමාජික කොමසාරිස්වරිය පවසා සිටියේ සාක්ෂිකාරිය කොමිසමට අපහාස කර ඇති බවට කීමට ප්‍රමාණවත් කරුණු නොමැති බැවින් රජයේ නීතිඥ නිෂාරා ජයරත්න කොමිසමට අපහාස කළ සාක්ෂිකාරියක් බවට ප්‍රකාශ කිරීම යුක්ති සහගත නොවන බවය.
කොමිසම් සභාවේ සාමාජිකයන් පස් දෙනාගෙන් තිදෙනකු ඊයේ (21 වැනිදා) කොමිසම් සභාවේ අසුන් ගෙන ඇත.
0 Comments