මාමණ්ඩිය මියගිය සොවින් පානදුර, පින්වල නිවෙසකට පැමිණි කොරෝනා ආසාදිත අනාගත ලේලිය නැන්දම්මා වැලඳගෙන හඬා වැටී එදින රාත්‍රියේ නිවෙසේ ගත කිරීමෙන් එම නිවෙස ඇතුළු නිවෙස් දෙකක පුද්ගලයන්
37 දෙනකු නිරෝධායනයට ලක් කළ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

එම පිරිස අතර වයස අවුරුදු තුනහමාරක සහ 13 අතර පසුවන කුඩා දරුවන් නවදෙනකු වන බව එම
කාර්යාලය කියයි.


දීර්ඝ කාලෙක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳි 66 හැවිරිදි එම පුද්ගලයා වෙනත් රෝගාබාධයකට පානදුර
මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ අතර ඔහුගේ පුතුගේ අනාගත සහකාරිය වන එම
තරුණිය පසුගිය 9 වැනිදා එම නිවෙසට පැමිණ තිබූ බව දැන ගැනීමට ලැබී ඇත.

හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ මෙම තරුණිය මාස එකහමාරකට
ඉහත කාලෙක සිට සේවයට වාර්තා කර නොතිබූ අතර සේවයට පැමිණෙන්නේ නම් වෛද්‍ය සහතිකයක්
රැගෙන එන ලෙස ආයතනයෙන් තරුණියට පවසා තිබූ බව එම කාර්යාලය කියයි.

සෙම්ප්‍රතික්‍ෂාව තත්ත්වයෙන්ද පෙළුණු මෙම තරුණිය ඊට ප්‍රතිකාර ගැනීම සඳහා සහ වෛද්‍ය සහතිකයක්
ගැනීම සඳහා ඉංගිරිය ප්‍රදේශයේ රජයේ රෝහලක වෛද්‍යවරයකු හමුවට ගිය අවස්ථාවේදී වෛද්‍ය
සහතිකය ලබාදීමට පී.සී.ආර්. පරීක්‍ෂණයක් සිදුකර ගෙන එහි වාර්තාව රැගෙන එන ලෙස වෛද්‍යවරයා
පවසා ඇත.

ඒ අනුව ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් ඉකුත් 8 වැනිදා පී.සී.ආර්. පරීක්‍ෂණයක්
සිදුකරගත් එම තරුණිය නිවෙසේ සිටියදී ඇගේ අනාගත මාමණ්ඩිය මියගිය බවට ඇයට දැන ගැනීමට ලැබී ඇත.

කොළඹ - එම්.සී. පෙරේරා