යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත පරන්තන් හන්දියේ රැකවල්ලා සිට මාර්ගයේ ධාවනය වූ බස්රථයක් නවතා පරීක්ෂාකර බලා කිලෝ 1 1/2ක් පමණ බර ක්ලේමෝ බෝම්බයක් ගමන් බෑගයක සැඟවාගෙන යමින් සිටි 26 හැවිරිදි කාන්තාවක් හා ඇයගේ සැමියා පෙරේදා පොලිස්  අත්අඩංගුවට පත්විය.
අඹු සැමි යුවළගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු මත පරන්තන් අයියකච්චි ප්‍රදේශයේ පදිංචි  සැකකාරියගේ 62 හැවිරිදි මවද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇයගෙන් හෙළිවූ තොරතුරු මත ඔවුන් පදිංචිව සිටි නිවසේ  ගෙවත්තේ බැරලයක බහා වළ දමා තිබූ හිටපු එල්.ටී.ටී.ඊ. ප්‍රබලයකුට අයත් බවට සැලකෙන අවි ආයුධ, ගමන් කථන කොටස්, ටී.56 සහ පිස්තෝල උණ්ඩ තොගයක්ද හසුකරගත හැකිවිය.
හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු බව කියන පුද්ගලයකු ක්ලේමෝ බෝම්බය, උණ්ඩ තොගය ඇතුළු අනෙකුත් අවි ආයුධ සඟවා තබාගන්නා ලෙස පවසා මීට වසර 2කට පමණ ඉහතදී තමාට බාරදී ගිය බව සැකකාර 62 හැවිරිදි කාන්තාව පොලිස් ප්‍රශ්න කිරීම් වලදී පවසා ඇත.


එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරිකයකුව දැනට ස්විස්ටර්ලන්තයේ පදිංචිව සිටින දේවින් නමැත්තකු මෙම සැකකාර අඹුසැමි යුවළට උපදෙස් දී ඇති බවද හෙළි වී තිබේ.  ගෙවත්තේ වළ දමා තිබූ බැරලයේ බහා තිබූ ක්ලේමෝ බෝම්බය ඉවතට ගෙන පරන්තන් හන්දියට රැගෙන යන ලෙසත් එම බෝම්බය බාර ගැනීමට පුද්ගලයකු එහි පැමිණෙන බවත් ඔහුට එම බෝම්බය බාරදෙන ලෙසත් දේන් නමැත්තා සැකකාර අඹු සැමි යුවළට දැනුම් දී ඇති බවද අඹුසැමි යුවළගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි විය.

යුද හමුදාව රටේ අනෙකුත් කටයුතු සඳහා යොමුව සිටියද රටේ සහ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව තවදුරටත් දැඩි අවධානයෙන් පසුවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ ගැන අදහස් පළ කරමින් දන්වා සිටියේය.
යුද හමුදාපතිවරයා සඳහන් කළේ මෙම කාන්තාවගේ ක්‍රියාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගත්තේ ද යුද හමුදා බුද්ධි අංශවල තොරතුරු මත බවය.
යාපනයේ සිට මහනුවර දක්වා බස් රථයක යමින් සිටියදී ඔවුන් අත්අඩංගුවටගෙන තිබුණි. එම බෝම්බය ඔවුන් සතුව තිබූ බෑගයක සඟවා තිබී ඇත.ඔවුන් තම දරුවා ද එම ගමනට රැගෙන ගොස් තිබුණේ අන් අයගේ අවධානය වෙනතකට යොමු කිරීමට බව හමුදා බුද්ධි අංශ විශ්වාස කරයි.

2014 අප්‍රේල් 14 වැනිදා නෙඩුන්කර්නි කැලෑවේදී හමුදා ප්‍රහාරයකින් මියගිය LTTEයේ ගෝපි යන අයගේ සොහොයුරු ස්විට්සර්ලන්තයේ සිට ප්‍රහාරයක් සැලසුම්කර ඇතැයි පුවත්පත් වාර්තා කර තිබුණි.

අත්අඩංගුවට ගත් යුවළ පදිංචිව සිට ඇත්තේ අය්යකච්චි, පැනික්කච්චිහි පිහිටි ගෝපි හෙවත් කජිපන් පොන්නයියා සෙල්වනායගම්ගේ මවගේ නිවස ඉදිරිපිට නිවසකය.


"මේක අලුතින් හදපු ක්ලේමෝ බෝම්බයක් නෙමෙයි. මේක පරණ ඒ කාලේ හදපු ක්ලේමෝ එකක්. ඒ කාන්තාව සුළු කාලයකට හෝ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධවෙලා කටයුතු කරපු කෙනෙක්. LTTE සංවිධානයට යුදමය අතින් කරගන්න බැරිවෙච්ච දේ මතවාදී වශයෙන් තවදුරටත් ඉදිරියට රැගෙන යෑමට කටයුතු කරන අය විදෙස් රටවලත් ශ්‍රී ලංකාවේත් ඉන්නවා. මේ රටේ ත්‍රස්තවාදයට ඝෘජුවම සම්බන්ධවෙලා හිටපු අය 12,00ක් පමණ අපි පුනුරුත්තාපනය කරලා සමාජගත කරනු ලැබුවා. මේ වගේ අය හෝ ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන අයට පිටරටවල ඉඳලා මුදල් එවලා මෙවැනි ක්‍රියාවන් සඳහා සම්බන්ධකර ගන්නවා. ඒ වගේ තත්ත්වයන් අපි දකිනවා. හමුදාව වෙන වෙන කටයුතු සඳහා අවදානය දෙමින් සිටින කාලවල තමයි මෙවැනි දේවල් කරන්න උත්සහ ගන්නේ. ඒ මොනවා කරත් මේ රටේ හමුදාව ඉතාමත් අවදානයෙන් ඉන්නෙ. යුද හමුදා බුද්ධි අංශය තමයි මේ සොයා ගැනීම කරනු ලැබුවේ. රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පවතින ඕනෑම තත්ත්වයක් යටතේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ගතයුතු සියලුම ක්‍රියාමාර්ග ගනු ලබනවා." යනුවෙන් ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.