පැපිලියාන ප්‍රදේශයේ පිහිටි වාහන සේවා හා නඩත්තු කිරීමේ ආයතනයක ශාඛා දෙකක පරිගණක
පද්ධතිවල ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් එම ශාඛා දෙක සතු රුපියල් කෝටි දහතුනකට අධික මුදලක්
වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අපේක්ෂිත ඇපයක් ලබාදෙන
ලෙසට එම ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයකු කළ ඉල්ලීමක් නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න
අල්විස් මහතා ප්‍රතික්ෂේප කළේය.


එම ආයතනයේ අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කළ නඩරාජා චන්ද්‍රමෝහන් නමැත්තකු නීතිඥවරයකු මඟින්
කළ ඉල්ලීමක් එසේ ප්‍රතික්ෂේප කෙරිණි.

මෙය විශාල මුදල් වංචා සිද්ධියක් බවත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූලික
විමර්ශන ආරම්භ කර ඇති බවට කරුණු අනාවරණය වන බවත් මේ සම්බන්ධයෙන් අපේක්ෂිත ඇපයක් ලබාදුනහොත්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතුවලට බාධාවක් වන බැවින් එම ඇප ඉල්ලීම
ප්‍රතික්ෂේප කරන බවද මහෙස්ත්‍රාත්වරයා පැවැසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කරන
විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගැනීමක් වුවහොත් ඉල්ලුම්කරුට ඇප ඉල්ලීමට හැකියාවක් ලැබෙන බවද
එම කරුණු සලකා බලා ඇප නොදෙනවාද නැද්ද යන්න පිළිබඳව නියෝගයක් දෙන බවද මහෙස්ත්‍රාත්වරයා
පැවැසීය.

ඉහත සඳහන් ශාඛා දෙකේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ තලාහේනේ පදිංචි නඩරාජා
චන්ද්‍රමෝහන්, ඔහුගේ බිරිය වන සිම්ලින් කාවෝ හා එහි ගණකාධිකාරිවරයකු වන සාරංග පන්නිල නමැති
සැකකරුවන් තිදෙනකු මෙම මුදල් වංචාව කර ඇති බවට ඉහත කී ශාඛාවල ගණකාධිකරිවර වන තරින්දි
සිල්වා මහතා අපරාධ

පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කෙරේ.


කුමුදු උපුල් ශාන්ත