Pfizer එන්නත අධික අලෙවියක් පෙන්නුම් කළ හැකි රටවල් කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි. 


COVID-19 වෛරසය වැළැක්වීම සඳහා නිපදවා ඇති Pfizer එන්නත හදිසි අවස්ථාවකදී ඉන්දියාව තුළ භාවිතය සදහා අනුමැතිය ලබාදෙන ලෙස එම එන්නත නිපදවූ සමාගම ඉන්දියානු බලධාරින්ගෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වෙයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ Pfizer සමාගම සහ ජර්මනියේ BioNTech සමාගම එක්ව මෙම COVID-19 වළකන එන්නත නිපදවා තිබේ.

BNTI62b2 ලෙස මෙම එන්නත නම් කෙරී ඇත. දැනටමත් බ්‍රිතාන තුළ සහ බහරේනය තුළ මෙම එන්නත භාවිතය සදහා අනුමැතිය හිමිව තිබේ. මාධ්‍ය වාර්තවලට අනුව Pfizer ඉන්දියානු සමාගම මගින් එරට ඉන්දියානු ඖෂධ
පාලක ජනරාල්වරයා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත. ඒ අනුව මෙම එන්නත අලවි කිරීම සදහා ඉන්දියාව වෙත ආනයනය කිරීම සහ ඒවා රට පුරා බෙදාහැරීම සඳහා මෙහිදී ඔවුන් ඉල්ලීම් කර තිබේ.

බ්‍රිතාන්‍ය පසුගිය බදාදා දිනයේදී මෙම එන්නත ලබාදීම සඳහා අනුමැතිය ලබාදුන් ලොව පළමුවැනි රට බවට පත්විය. එහිදී බ්‍රිතාන්‍ය වෛද්‍ය සහ සෞඛ්‍ය ආරක්ෂක නිෂ්පාදන නියාමන ඒජන්සිය මගින් මෙම එන්නත හදිසි අවස්ථාවලදී භාවිත කළ හැකි තාවකාලික අනුමැතියක් ලබාදී ඇත. එසේම සිකුරාදා දිනයේදී බහරේනයද එරට තුළ මෙම Pfizer එන්නත් මාත්‍රා දෙකක් විදීම සදහා අනුමැතිය ලබාදී තිබුණි.