ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් සහ මහා මාර්ගයේ සිදුකරන අමානුෂික පහරදීම් ආදී වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරුප මින් ඉදිරියට මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන බව 

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය. මේ ආකාරයෙන් සැකකරුවගේ ඡායාරූප නම්, ගම් සහිතව මාධ්‍ය හරහා ප්‍රචාරය වීමෙන් පසු ඔවුන් ඉදිරියේ දී වැරදි කිරීමට යම් බියක් දක්වන බව ද අමාත්‍යවරයා කීය. 
වේවැල්දෙණිය තිත්තවැල්මංකඩ මාර්ගයේ දී ඉකුත් (8) තරුණයකුට පොලුවලින් සහ පිහියකින් පහර දී තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගේ ඡායාරූප ද අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ නියමයෙන් නිට්ටඹුව පොලිසිය විසින් මාධ්‍යවලට මුදා හරිනු ලැබීය.සැකකරුවන්ගේ පහර කෑමට ලක් වූ තරුණයා බරපතළ තුවාල ලබා වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.  


සිද්ධියේ සැකකරුවන් තිදෙනා රදාවඩුන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.  මෙම දෙපාර්ශ්වය අතර මීට පෙර ආරවුලක් හටගෙන ඇති බවත් එහිදී පහර කෑමට ලක් වූ තරුණයා සෙසු පාර්ශ්වයේ වෑන් රථයකට පහර දී ඇති බවත් පොලිසිය පවසයි. එම සිද්ධිය මුල් කරගෙන සැකකාර පාර්ශ්වය තරුණයාගේ ත්‍රිරෝද රථයට පහර දී ඇති අතර එම පැමිණිලි නිට්ටඹුව පොලිසියට ලැබුණු බවත් එම අලාභ ගෙවන පොරොන්දුව මත දෙපාර්ශ්ව ය සමථයකට පත් වූ බවත් පොලිසිය කියයි.


මෙම පැමිණිල්ල සමථයකට පත් වූ පසු දෙපාර්ශ්වය යළිත්  කිසියම් පෞද්ගලික ආරවුලක් මත තරුණයාට මෙම පහරදීම  සිදුකර ඇති බව පොලිසිය කියයි.  පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන්  පසු මෙම මස 22 දින දක්වා රිමාන්ඩ් බාරයට පත්කර ඇත.  නිට්ටඹුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


 -ඉන්දිකා රාමනායක-