පොලිස් භෝජනාගාරවල භාවිතය සඳහා ආනයනික මාළු භාවිත නොකර දේශීය වශයෙන් සුලබ සහ පෝෂ්‍ය ගුණයෙන් යුතු මාළු භාවිත කරන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රරත්න මහතා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම භෝජනාගාරවලින් ඉල්ලීමක් කර ඇත.


පොලිස්පතිවරයාගේ අත්සනින් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඉකුත් 18 වැනිදා ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇත.

විදෙස් රටවලින් 2019 වර්ෂයේ ආනයනය කර ඇති මත්ස්‍ය නිෂ්පාදන සඳහා රජය රුපියල් බිලියන 38.9ක මුදලක් වැය කර ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.

දේශීය ධීවරයා ආරක්ෂා කරමින් සහ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය පහළ දැමීමේ රජයේ ප්‍රතිපත්තියට සහාය දෙන්නැයි ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට කළ ඉල්ලීමක් අනුව මෙම ඉල්ලීම කරන බවද පොලිස්පතිවරයාගේ නිවේදනයේ දැක්වේ.

ආනයනික මසුන් වෙනුවට පෝෂණය එක හා සමාන දේශීය මසුන් වන කෙළවල්ලන්, අලගොඩුවන්, ලින්නන් වැනි මසුන් භාවිත කළ හැකි බවත්, තලපත් වෙනුවට කෙළවල්ලන් භාවිත කළ හැකි බවටත් එම නිවේදනයේ දැක්වේ.


ධීවර අමාත්‍යාංශය කළ සොයාබැලීමකදී සාම්ප්‍රදායිකව ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, රෝහල් හා බන්ධනාගාරවල භෝජනාගාර සඳහා විශාල වශයෙන් ආනයනික මසුන් පරිභෝජනය කරන බව නිරීක්ෂණය වී ඇති බව ද පොලිස්පතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයට අමුණා ඇති ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.අයි. රත්නායක මහතා 2020.12.02 වැනිදා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 2019 වර්ෂයේ මත්ස්‍ය නිෂ්පාදන ටොන් 95,637ක් ලංකාවට ආනයනය කර ඇති බවයි.

කුඩා මසුන් භාවිත කිරීම වඩා පෝෂ්‍යදායී වුවත් භාවිතයේ පහසුව තකා ආනයනික තලපත් වෙනුවට දේශීය කෙළවල්ලන් භාවිත කිරීම සුදුසු බව ද ධීවර අමාත්‍යාංශ ලේකම්වරයා පොලිස්පතිවරයාට එවූ ලිපියේ සඳහන් වෙයි.

එසේම බලමාළු ආහාරයට ගැනීමෙන් ඇතැම් රෝගීන්ට අසාත්මිකතා ඇති විය හැකි බැවින්, රෝගී අවස්ථාවල බල මාළු ලබාදීම නිර්දේශ නොකරන බවද එම ඇමුණුම් ලිපියේ සඳහන් වෙයි.

- අජිත්ලාල් ශාන්තඋදය -