රුපියල් ලක්ෂ එක හමාරක අල්ලසක් ගත් බවට සැකපිට අත්අඩංගුවට පත් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනිය අද (4) තෙක් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසත් එදින ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසත් ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ මහත්මිය පෙරේදා (02) සවස නියෝග කළාය. මෙසේ රිමාන්ඩ් භාරයට පත්කෙරුණේ කේ.බී.ඩබ්ලිව්. ප්‍රමිලා මධුරංගනී (36) නමැත්තියයි. ලබන වසරේ (2021) ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ පළමුවන ශ්‍රේණියට දරුවකු ඇතුළු කිරීමට සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණ ආරක්ෂක අංශයට සම්බන්ධ නිලධාරියෙකුගේ දරුවාට ලැබී තිබූ ලකුණු වැඩිකරදීමට මෙම රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ඉල්ලා ඇත.
විදුහල්පතිනිය ඉල්ලු අල්ලස් මුදල පෙරේදා (02) දින ලබාදීමට පොරොන්දුවී ඇති අතර තමන්ට නිවාඩු ලබාගත නොහැකි නිසා තම බිරිඳ මුදල් ද සමග විදුහල්පතිනිය හමුවීමට පැමිණෙන බව දන්වා තිබී ඇත. මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ මර්දන ඒකකයට කළ පැමිණිල්ලක් අනුව එහි නිලධාරිනියක පෙරේදා 02ක් පෙරවරුවේ අල්ලස් ඉල්ලූ තැනැත්තාගේ බිරිඳ ලෙස වෙස් වළාගෙන විදුහලේ කාර්යාලයට ගොස් ඇත්තේ ඉල්ලු රුපියල් ලක්ෂ එකහමාර ද අතැතිවය. විදුහල්පතිනියට විදුහලේ කාර්යාලයේ දී ඇය පැමිණි කාරණාව දැනුම් දී ඇති අතර විදුහල්පතිනිය කාර්යාලයේ දී මුදල් ලබාගෙන නැත. ඒ වෙනුවට විදුහල්පතිනිය අල්ලස් දීමට පැමිණි කාන්තාව සමග විද්‍යාලයේ ක්‍රීඩා පිට්ටනිය දෙසට ගමන් කර එහිදී මුදල් ලබාගෙන ඇත.
ලබාගත් මුදල් පාර්සලය විද්‍යාලයේ කම්කරු මහතකුට දී එය කාර්යාලයෙන් තබන්නැයි දැනුම් දී තිබේ. විදුහල්පතිනිය දුන් පාර්සලය ගත් සේවකයා කාර්යාලයට යන්නට පෙර මුදල් පාර්සලය ද සමග අල්ලස් හෝ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින්ගේ බාරයට ගෙන විදුහල්පතිනිය අත්අඩංගුවට ගෙන තිබේ. විදුහල්පතිනියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඇඹිලිපිටිය පොලිසියට රැගෙන ගොස් පසුව ඇය උඩවලව පොලිසියට ගෙන ගොස් එහි සිට ප්‍රකාශ සටහන් කරගනු ලැබීය. ඇයගේ ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව පෙරේදා (02) සවස 7.00ට පමණ අල්ලස් හෝ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් සැකකාර විදුහල්පතිනිය ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට අධිකරණයේ නිල කාමරයේ දී ඉදිරිපත් කරනු ලැබුවාය. සැකකාර විදුහල්පතිනිය වෙනුවෙන් නීතිඥ නිරෝෂන් ගමගේ මහතා ඉදිරිපත් විය. පැමිණිලිකාර අල්ලස් හෝ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින්ගේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාර විදුහල්පතිනිය මේ මස 04 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත්කර එදින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙස නියම කළාය.
0 Comments