බන්ධනාගාරගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8,000ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පාර්ලිමේන්තුවේදී පැවැති අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී ප‍්‍රකාශ කර තිබේ.

හෙතෙම සඳහන් කර ඇත්තේ වැඩි වෙමින් පවතින සිරකරුවන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා මෙම පියවර අනුගමනය කරන බවයි. එසේම මේ වන විට රට පුරා බන්ධනාගාර 28ක රැඳවියන් 28,951ක් සිටින බව පෙන්වා දී ඇති රාජ්‍ය අමාත්‍යවරයා, කෝවිඩ්-19 තත්ත්වය සැලකිල්ලට ගෙන සමාව ලබාදිය හැකි රැඳවියන් නිදහස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බවද ප්‍රකාශ කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කර ඇත්තේ සිවු අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය අනුමත වුවහොත් දඬුවම් කාලය වසර 20කට වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වන බවත් ඒ අනුව මරණ දඬුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය වසර 20කට අඩු වන බවත්ය. එසේම සිවු අවුරුදු සමාව ලබාදීම වසර 40ක් තුළ ක්‍රියාත්මක වී නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබිණි.  


මීට අමතරව සුළු ඇප මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ ඇප මුදල් අමාත්‍යාංශය මූලික වී ගෙවා ඔවුන් නිදහස් කිරිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා තිබේ.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් රැඳවියන් 10,500ක් පමණ බන්ධනාගාරගතව සිටින බවයි. ඉන් 8500ක් හෙරොයින් සම්බන්ධ වැරදිවලට, වරදකරුවන් වූවන්ය.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිරකරුවන රඳවා තබා ගැනීමට වඩා පුනරුත්ථාපනය කිරීමේ වැදගත්කම අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මෙහිදී පෙන්වා දී ඇති අතර, බොහෝ අවස්ථාවලදී වරදකරුවන් කරනු ලබන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නොව මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වූ අය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මවුපියන් දෙදෙනාම අහිමි වූ ළමයින්, රිමාන්ඩ් කරන ලද ළමයින් සහ වැරදිකරුවන් වී ඇති ළමයින් එකම අනාථ නිවාසයක ජීවත් වන බවත්, ළමා මහේස්ත්‍රාත් අධිකරණ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ළමයින් සම්බන්ධ නඩු විභාග ප්‍රමාද වීම ගැටලුවක් බවත් මෙම අවස්ථාවට එක්ව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පෙන්වා දී තිබේ. එක් පළාතකට ළමා අධිකරණයක් බැගින් ස්ථාපිත කරන ලෙසද මන්ත්‍රීවරයා මෙහිදී යෝජනා කර තිබිණි. මෙම යෝජනාව අගය කරමින් අධිකරණ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඒ පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරන බවයි. අධිකරණවල විභාග වන නඩු ප්‍රමාද වීම යන සාධකයේදී ලොව රටවල් 189ක් අතරින් ශ්‍රී ලංකාව 165වැනි ස්ථානයේ පසුවන බව පවසා ඇති අධිකරණ අමාත්‍යවරයා එය කනගාටුවට කරුණක් බවද ප්‍රකාශ කර තිබේ. ඒ අනුව වසර 25කට වඩා වැඩි කාලයක් විසඳාගත නොහැකිව දිසා අධිකරණයේ සිවිල් නඩු 5000කට අධික සංඛ්‍යාවක් විභාග වෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා විනිසුරුවන් , හා අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇති අමාත්‍යවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කළයුතු විනිසුරුවන්ගේ සංඛ්‍යාව 11 සිට 17 දක්වා වැඩි කර ඇති බවත්, අභියාචනාධිකරණයේ සේවය කළ විනිසුරුවන්ගේ සංඛ්‍යාව 12 සිට 20 දක්වා වැඩි කර ඇති බවත් පෙන්වා දී ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අධිකරණ පද්ධතිය පුළුල් කිරීමේදී දැනට අලුත්කඩේ අධිකරණ අමාත්‍යාංශය පිහිටා ඇති පරිශ්‍රයද ඒ වෙනුවෙන් භාවිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි.
- නිදර්ශනී වික්‍රමසිංහ -