ඉකුත් අය වැය යෝජනා අනුව පෞද්ගලික අංශයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු හැට දක්වා දීර්ඝ කර ඇතත් යම් සේවකයකුට වයස අවුරුදු 55 දී සේවය අවසන් කර සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් (EPF හා ETE) තැන්පතු ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව තිබෙන බව කම්කරු අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.  පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කළේ කම්කරු නායකයන් දිගු කාලයක් තිස්සේ කළ ඉල්ලීම අනුව බව කී අමාත්‍යවරයා විශ්‍රාම ලබන්නේ වයස 55න් ද 60න් ද යනුවෙන් තීරණය කිරිමට  සේවකයන්ට අයිතිය තිබෙන බව ද සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ කම්කරු අමාත්‍යාංශයේදී පෙරේදා (22)
පැවැති ජාතික කමිකරු උපදේශක සභා රැස්වීමේදීය. වෘත්තීය සමිති නායකයන් සහ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන්ගේ  සහභාගිත්වයෙන් එම රැස්වීම පැවැත්විණි. කුමන වයසේදී විශ්‍රාම ගියත් විශ්‍රාම ලබාගන්නා විට ඔවුන්ට සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව ලැබෙන බව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය. ජනතාවගේ ආයු අපේක්ෂාව වැඩි වී ඇති නිසා ජාතික විශ්‍රාම ගැන්වීමේ වයස ද ඊට සාපේක්ෂකව ඉහළ දැමීම සිදු වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.  මේ පිළිබඳව කරුණු දැක්වූ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන් කියා සිටියේ ප්‍රතිපත්තියක් වශයෙන් මෙම යෝජනාව පිළිගත හැකි වුවත්, සමහර කාර්මික ක්‍ෂේත්‍රයන්හි වයස අවුරුදු 55න් පසුව  සේවකයන් රඳවා තබාගැනීමේ ප්‍රායෝගික ප්‍රශ්න හා ගැටලු මතුවන බවයි.

එසේම වයස අවුරුදු පනස් පහක් ඉක්ම වූ අයගෙන් ලබාගත හැකි නිෂ්පාදන සහ  සේවා ඵලදායිතාව පවතින්නේ අඩු අගයක බැවින් එම සේවකයන් වයස 60 දක්වා සේවයේ රඳවා ගැනීම සම්බන්ධව අද පැන නගින බව ද ඔවුහු පැවැසූහ. එම නිසා එසේ විශ්‍රාම ගැන්වීමේ වයස හැට දක්වා දීර්ඝ කරන්නේ නම් දැනට සාමූහික ගිවිසුම්වල අන්තර්ගත කරුණු ද ඇතුළත් කර අදාළ පනත් සංශෝධනය කිරිම වැදගත් බව සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්‍ෂ ජනරාල් කනිෂ්ක වීරසිංහ මහතා පැවැසීය.   එයට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයාට පැවැසුවේ අදාළ පනත් සංශෝධනයන්ට යම් නිර්නායකයන් ඇතුළත් කිරිමට අවශ්‍ය නම් වෘත්තීය සමිති නායකයන් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර එම යෝජනා තමන් වෙත ලබාදෙන ලෙසයි.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡා කමිටුවට කැඳවා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාට මෙහිදී උපදෙස් දුන්නේය . අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ, ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරමින් ලෙස්ලි දේල්වේන්ද්‍ර, ඇන්ටන් මාකස්, සිල්වෙස්ටර් ජයකොඩි, වසන්ත සමරසිංහ,  ලීනස් ජයතිලක යන මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති නායකයෝ සහ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්වූහ.


-ඩයනා උදයංගනී-