පළාත් සභා මැතිවරණය ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂ නායකයන්ගේ හමුවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ අතර දේශපාලන ආරංචි වාර්තා කර ඇත්තේ පළාත් සභා මැතිවරණය කල්දැමීමට තීරණය කරන ලද බවයි.



පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පළාත් සභා මැතිවරණය මෙම අවස්ථාවේ නොපැවැත්වීමට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇති බව නිල නොවන ලෙස වාර්තා විය.
මීට කලින් සැලසුම් කර තිබුනේ 2021 මුල් කාර්තුව තුළ එම මැතිවරණය පවත්වන්නටය.

කෙසේවෙතත් පළාත් සභා ක්‍රමය රටට අවශ්‍යද නැතිද යන සංවාදයේදී එය අවශ්‍ය බව එහිදී අවධාරණය වූ බව ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් දන්වා ඇත.


පසුගිය දිනවල මෙම මැතිවරණය ගැන විවිධ සංවාද පැනනැගුනු අතර මල්වතු අස්ගිරි උභය විහාර ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසනාව වූයේද මෙම අවස්ථාවේ මැතිවරණ අනවශ්‍ය බවකි.