රත්ගම කළපුවේ තිබිය දී සොයාගත් පොල්ගස්දූව ආරණ්‍ය සේනාංසනයේ වැඩ සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ  සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කරාපිටි  රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි  ජානකී වරුෂාහැන්නදි මහත්මිය මේ  සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දුන්නාය.   සිරුරේ කොටස් වෛද්‍ය පරේෂණාතනය වෙත යවා වාර්තාව ලැබුණු පසු මරණයට හේතුව ප්‍රකාශ කරන බව ද වරුෂාහැන්නදි මහත්මිය ඊයේ 10 වැනිදා සවස කියා සිටියාය.  හිමියන්ගේ දේහය රත්ගම කළපුවේ තිබියදී ඉකුත් 8වැනිදා සවස සොයා ගැනුණ අතර දේහයේ දෙපා ගැටගසා ගල් ද එල්ලා තිබිණ.


සිද්ධිය වාරිතාවීමත් සමග රම පොලිස් නිලධාරින් පැමිණ දේහය ගොඩට ගෙන ආරක්ෂාව සලසා තිබු අතර ගාල්ල කොට්ඨාස අපරාධ පරික්ෂණාගාරයේ පොලිස් පරික්ෂක කාරියවසම් මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් ගොස් විද්‍යාත්මක සාක්ෂි එක්රැස් කළේය.  ගාල්ල මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා පෙරේදා 9 වැනිදා උදෑසන එම ස්ථානයට ගොස් මුලික මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වා පශ්චාත් මරණ පරික්ෂණය සඳහා  දේහය කරාපිටිය රෝහලට රැගෙන යාමට නියෝග කළේය. ඒ අනුව දේහය කරාපිටිය රෝහලට  ගෙනැවිත් පළමුවෙන්ම පී.සී.ආර්. පරීක්ෂණය සිදු කරන ලද අතර එහිදි අනාවරණය වී ඇත්තේ එම හිමියන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවය. පසුව පශ්චාත් මරණ පරික්ෂණය සිදු කරන ලදී.


මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමක් මෙම හිමියන් වැඩ සිටි කුටියේ තිබී ජංගම දුරකතන දෙකක්, මෙමරි කාඩ්පත් 11ක්, හඬ පටිගත කිරීමේ යන්ත්‍ර දෙකක් සහ විදේශ ගමන් බලපත්‍රය සොයා ගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  විකුම් ගිනිගේ මහතා පැවැසීය.  එයට අමතරව එම ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින භික්ෂුන්  වහන්සේලා කිහිප නමකගෙන් ද ආවතේවකරුවකුගෙන් ද ආරණ්‍ය භූමියේ ඉදිකිරීම් කරන ලද  පෙදරේරුවකුගෙන් ද දායක සභාවේ කිහිප දෙනකුගෙන් ද ප්‍රකාශ ලබාගත් බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවැසීය.


නෙදර්ලන්තයේ දී 1961 මැයි 31 වැනිදා උපත ලබා (Antonius Girabus Johannes) නමින් ගිහි ජීවිතයේ සිට පසුව පළමුවෙන්ම තායිලන්තයේ දී 1987දී පැවිදි දිවියට ඇතුළත්ව පසු කලෙක ලංකාවට පැමිණ  නෙදර්ලන්තයේ ජිනවංශ නමින්  පොල්ගදූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව සිට ඇත. උන් වහන්සේ කුටියේ සිට තනිවම ඔරුව පැදගෙන ගොඩබිමට වැඩම  කොට පිඬුසිගා වඩින බව ද පරික්ෂණෙවල දී අනාවරණය වී ඇත.

-සුමතිපාල දියගහගේ-