අබිරහස් ලෙස අපවත් වී වදාළ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනා යෝගීව වැඩවිසූ නෙදර්ලන්ත ජාතික හිමිනම එලෙස අපවත්වීම සම්බන්ධයෙන් සිදු කරගෙන යන පරීක්ෂණ වලින් අලුත් කරුණු කිහිපයක් අනාවරණය වෙමින් පවතින බව පොලිස් වාර්තා මගින් කියැවේ.

රත්ගම කළපුවේ තිබියදී සොයාගන්නා ලද හිමි නමගේ දේහය ගැන මුලින් පැවසුණ ආරංචියක් වූයේ හිමිනම පින්ඩපාත දානය සඳහා වැඩම කළ අවස්ථාවක මෙම අනතුර සිදුවන්නෙට ඇති බවයි. සෑම දිනකම උදෑසන ස්ථාන කිහිපයක් තෝරාගෙන තමන්ම පැදයන ඔරුවෙන් පිණ්ඩපාතයට වඩින බවද කියැවිණි.

නමුත් හිමියන් වැඩසිටි කුටිය පොලිසිය මගින් පරීක්ෂා කිරීමේදී නෙදර්ලන්ත ජාතික හිමිගේ පිණ්ඩපාතයේ ගෙන යන පාත්‍රය හමුවූ බව වාර්තා විය. ඒ අනුව සිද්ධිය වූ දිනයේ හිමියන් එළි පහළියට බැස ඇත්තේ පිණ්ඩපාතය සඳහා නොවන බව හඳුනාගන්නට ලැබේ. මෑත කාලයේ හිමියන් වෙනත් කාරණාවකට පිටතට ගොස් නැති අතර සිද්ධිය සිදුවූ දිනයේ කිසියම් බාහිර පාර්ශ්වයක් හිමියන් සිටි කුටිය වෙත පැමිණ කිසියම් හිරිහැරයක් කර ඇතිදැයි යන සැකය මේ වනවිට පැනනැගී ඇත.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය බ්‍රහස්පතින්දා (10දා) ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලේ
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ජානකී වර්ෂාහැන්නදි මහත්මිය විසින් පවත්වන ලද අතර මරණය
සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී තිබේ. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශරීර කොටස් රජයේ
රසපරීක්‍ෂකවරයා වෙත සහ රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යැවීමටද පියවර ගෙන ඇත.
හිමියන් දිවිනසාගන්නට ඇතිය යන සැකයක් ඇතැමුන් විසින් නගන ලද නමුත් මේ වනතුරු ඒ ගැන නිසි හොඩුවාවක් හමුවී නැත. අඩුතරමින් හිමියන් ජීවිතය ගැන කලකිරී සිටි බවට සටහනක් හෝ කිසිවෙකු සමග පැවසූ දෙයක් පොලිසියට හොයාගන්නට හැකිව නැත.

මේ අතර හිමියන් සමග වෛරයෙන් පසුවන ගම්වාසීන් පිරිසක් ගැන පොලිසියට හෝඩුවාවක් ලැබී ඇති අතර එම පළුදුවූ සම්බන්ධතාවයන් හා අපවත්වීම අතර සම්බන්ධයක් පවතීද යන්න ගැන විමර්ශනයක් මේ වනවිට සිදුවෙමින් පවතී.
මෙම වෛරක්කාරයන් වූ කලි මෙම කලපුවේ බෝට්ටු සේවයක් පවත්වා යන කණ්ඩායමකි. ඔවුන් හිමියන් හා උරණව ඇත්තේ පාරිසරික හේතුන් මත හිමියන් ඔවුන්ට දැක්වූ විරෝධතා කිහිපයක් මුල් කරගෙනය.
ආරණ්‍ය සේනාසනය ආසන්නයේ මසුන් මැරීමට හා කඩොලාන විනාශයට මෙම ස්වාමින්
වහන්සේ නිරන්තරයෙන් එරෙහිව සිටි අතර ඒ කටයුත්තේ යෙදෙන අයට විරුද්ධව නැගී සිට ඇත.

මින් ඉහත ඒ ගැන පැමිණිලි කරන්නට යාමේදී බෝට්ටු සංගමය පවසා ඇත්තේ  හිමියන් වහන්සේ තමන්ගේ වැඩකටයුතු වලට මැදිහත් නොවන ලෙසත් තමන්ගේ පාඩුවේ සිටින ලෙසත්ය. එම එරෙහි වීම අවස්ථා කිහිපයකදී බහින්බස්වීම් දක්වා දුරදිග ගොස් ඇති බවටද සාක්ෂි ලැබී තිබේ.ප්‍රදේශවාසීන් තුළ සැකයක්
ඇතිවී තිබෙන්නේ මෙම බෝට්ටු සංගමය හිමියන්ට හිරිහැරයක් කළාද යන්න ගැනයි.

උන්වහන්සේගේ අවසන් කටයුතු පසුගියදා සිදුවූ අවස්ථාවේ මාධ්‍ය ආවරණය සඳහා ගිය මාධ්‍යවේදීන්ටද කළපුවේ බෝට්ටු ධාවනය කරන්නන් විසින් සහාය නොදක්වා යම් විරෝධතාවක්ද දක්වා ඇත.
 රත්ගම පොලිසිය මෙම පිරිස ගැන අවධානයෙන් පසුවන අතර ඒ ගැන පුළුල් ලෙස විමර්ශනයක්ද සිදු කරමින් පවතී.

රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන භික්‍ෂුන් වහන්සේ 13 නමකගෙන්
මේ වන විට පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එයට අමතරව මෙම භික්‍ෂුන් වහන්සේ පිණ්ඩපාතය
සඳහා වැඩම කළ නිවෙස් හිමියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන  තිබෙන බවත් ඝාතනයට ලක්වූ හිමියන්ගේ
ජංගම දුරකථනයට ලැබුණු හා උන්වහන්සේ ලබාගත් දුරකථන ඇමතුම් ඔස්සේද පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර
තිබෙන බව දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

හිමියන්ගේ භූමදාන කටයුතු සිකුරාදා (11දා) සවස රත්ගම, කිරිමැටිය පොදු සුසාන භුමියේදී සිදුකෙරිණි.(මරණ පරීක්ෂණ අවශ්‍යතා මත ආදාහනය නොකර භූමිදානය සිදුවිය)
පොලිස් පරීක්ෂණ දිගටම සිදුවේ.