කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා පැණියක් තමන්ද නිපදවා ඇති බව රිටිගල සින්හක්කාර වෙද පරපුරේ දේවේන්ද්‍ර ගුරුන්නාන්සේ යයි කියන අයෙකු අද මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේය.

එයට බිං කොහොඹ, ත්‍රයිලෝක විජයපත්‍ර (ගංජා) සහ තවත් රහස් බෙහෙත් අඩංගු කර ඇති බව ඔහු පැවසුවේය.

වසර 9500ක් පමණ පැරණි පරම්පරාවකින් පැවත එන බව කියන සිය ගුරු පරම්පරාවේ වට්ටෝරුවකට අනුව සහ වසංගත තත්ත්වයන්හිදී භාවිතා කරන ඖෂධ සම්බන්ධයෙන් ලියවුන සන්නස් වලට අනුකූලව මෙම පැණිය නිපදවා ඇති බව ඔහු කියා සිටියේය. තමා රාවණා පරපුරෙන් පැවත එන බව ඔප්පු කර පෙන්විය හැකි බවද ඔහු කියයි.

ප්‍රභූ පැලැන්තියේ පවුල්,රාජ්‍ය ආයතන,ආරක්ෂක අංශ වෙත සහ නිවෙස් වලට පැමිණෙන පිරිස් වලට මෙම ඖෂධය ලබාදී සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවද ඔහු පවසන අතර ධම්මික කොලොම්පුරට එන්නට ඉක්මණ් වු නිසා ඔහුගේ නම කලින් කියැවුණත් තමාගේ සොයාගැනීම ඵයට පෙර සිදුවූ බව ඔහු කියයි. තම බෙහෙත ලබාගත් පසු කොරෝනා වැළඳුණ අයිඩීඑච් රෝගීන් වෙත ගොස් ඔවුන් සමග නිදාගෙන එකට කාබී රෝගය වැළෙඳෙන්නේ නැති බව අභියෝගාත්මකව ඔප්පු කර පෙන්විය හැකි බවද ඔහු කියා තිබේ.