වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයන් වන සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව හා ලංකා
සතොස ආයතනයන් වල නව සභාපතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල
ගුණවර්ධන මහතා විසින් අද දින වෙළෙඳ අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.


මෙම ආයතනයන් වලින් අපේක්ෂිත ප්‍රගතිය ලබා ගැනීමට හිටපු සභාපතිවරයා අසමත් වීම හේතුවෙන් මෙම
නව පත්වීම් සිදු කරන ලද අතර ඒ අනුව සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (CWE) නව සභාපතිවරයා
වශයෙන් නීතීඥ වෙනුර ගුණවර්ධන මහතා ලංකා සතොස ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් රියර්
අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ද පත් කර ඇත.

හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන නීතීඥ වෙනුර ගුණවර්ධන මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති
උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය කළමණාකරණය පිළිබඳ විශේෂ
උපාධිධාරියකුද වේ.

එමෙන්ම ලංකා සතොස ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබුවේ රියර් අද්මිරාල් ආනන්ද
පීරිස් මහතා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇත.

ඒ අනුව නව සභාපතිවරුන් දෙදෙනාට ආයතන දෙකෙහි උන්නතිය උදෙසා පැවරුණු ඉලක්කයන් හා වගකීම් නිසි
පරිදි ඉටු කිරීමටත් ඒ අනුව කිසිදු පාඩුවක් නොලබමින් ජනතාව වෙනුවෙන් සිය සේවාව නිසි ලෙස
ක්‍රියාත්මක කිරීමටත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙහිදී උපදෙස් ලබා
දෙන ලදී.