මේ වනවිට ගුරු ග්‍රහයා දොළොස් වසරකට පසුව මකර රාශියට පිවිස තිබේ. ගුරු මකර රාශියේ සිට කුම්භ ලග්නයට මාරු වීම මේ වසරේ අග වන විට සිදුවුවත්, නැවත වතාවක් ලබන වසරේ ජුනි මාසය වනවිට වක්‍ර වීමත් සිදුවේ. වක්‍ර වීම යනු ගුරු ග්‍රහයා නැවත වතාවක් මකර රාශියට ඇතුල් වීමයි. එවිට ගුරු ග්‍රහයා නැවත වතාවක් නීචබල සහිත වේ. ගුරු නීචබල සහිත වීම ගුරුවරු, පූජක පක්ෂයට, නීතිඥවරු ඇතුළු උපදෙස් දෙන  පාර්ශ්වයන්ට අසුබදායක තත්වයක් නිර්මාණය කරයි. එය බොහෝදුරට අධයාපනික කටයුතුවල නිරත වී සිටින දරුවන්ට තදින් බලපාන වාතාවරණයක් නිර්මාණය වේ. 2007-2008 කාලසීමාවේත් ගුරු ග්‍රහයා නීචබල සහිත තත්වයක් නිර්මාණය වී තිබේ. එම කාලසීමාව තුලත් රටේ අධ්‍යාපනික කටයුතු වලට බාධා එල්ලවිය.


විශේෂයෙන් එම කාලසීමාවේදී විභාගවලට මුහුණදුන් අයට අසුබදායී ප්‍රතිඵල ගෙනදීම් සිදුවිය. මෙවර එයට වඩා වැඩි දරුණු වාතාවරණයක් නිර්මාණය වීමට ඉඩකඩ තිබේ. එයට  හේතුව වන්නේ සෙනසුරු ග්‍රහයාද මේ වසරේ මුල් කාලයේදී මකර රාශියට ඇතුළු වී ඇති නිසාය. එම හේතූන් නිසා අධ්‍යාපනයට, උසාවි කටයුතුවලට, රජය කටයුතු වලට, හමුදාවට, පොලීසියට  ගැටලු ඇති කරන තත්වයක් උදාවී තිබේ. සෙනසුරු මකර රාශියට පැමිණි  මකර රාශියේ සිටින ගුරු ග්‍රහයාට පීඩාවක් එල්ල කිරීම පවතින තත්වය වැඩි වීමක් ලෙස දක්නට හැක.

එහිදී ඒරාෂ්ටක පවතින දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට, විභාග කටයුතුවලට තදින් බාධා එල්ල වීමක් සිදුවිය හැක. ලබන වසර අවසානය වන තෙක්ම අධ්‍යාපන කටයුතුවලට බාධාවන් එල්ල විය හැක. ලබන වසර අවසානයේදී එම තත්වය බොහෝදුරට අඩු වන තත්වයක් දක්නට ලැබේ.  ගුරු ග්‍රහයාගේ මෙම තත්වය අධ්‍යාපනය හදාරණ දරුවන්ගේ ලග්නවලට අනුව සිදුවන බලපෑම විවිධාකාරය. මිථුන ලග්නයේ උපත ලබා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට තදබල බාධා ඇතිවිය හැකි තත්වයක් පෙන්නුම් කරයි. මකර ලග්නයෙන් උපත ලබා ඇති දරුවන්ටත්, කුම්භ ලග්නය උපත ලබා ඇති දරුවන්ටත් ඒරාෂ්ටක බලපෑමක් තදින්ම පවතී. එමෙන්ම සුවණ නැකත් පළමු පාදය, දෙවැනි පාදයෙන් උපත ලබා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටද ලබන වසරේදී තදබල ගැටලුකාරී තත්වයක් ඇති විය හැක.


විශේෂයෙන් විභාග කටයුතුවලට පාඩම් කිරීමට අපහසු වීම වැනි දේ ඇතිවීමට හැකියාව පවතී. එමන්ම උපදෙස් දීමේ පාර්ශ්වයන්ට ලබන වසර අවසානය තෙක් ගැටලුකාරී තත්වයන් ඇතිවන බව පෙන්නුම් කරයි. විශේෂයන් මිථුන ලග්න  හිමි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට තද බල බලපෑමක් අනිවාර්යයෙන් සිදුවේ.  සෙනසුරු ඒරාෂ්ටක බලපෑමට හසුව සිටින මිථුන ලග්න හිමියන්, ධනු ලග්න හිමීයන්, මකර ලග්න හිමියන්, කුම්භ ලග්න හිමියන් සහ සුවණ නැකත් හිමි  අයගේ මෙම ඒරාෂ්ටක බලපෑම් අවම කර ගැනීමට කාක නිල් ගලක් පලදීම සුවදායක වේ. ඔවුන් කාක නිල් ගලක් දකුණත මැද ඇගිල්ලේ හෝ ධර්මචක්‍රයක් පංචායුධයක පැලද කර පලඳිනවා නම් විශාල සුබදායී තත්වයක් නිර්මාණය වනු ඇත. එවිට ඔවුන්ට ඒරාෂ්ටක බලපෑම සැලකිය යුතු මට්ටමකින් අඩුවේ. එමන්ම කළු වර්ණ සහිත ඇඳුම් නොඅඳිනවා නම් එයද සුබදායක තත්වයක් උදාකර දෙනු ඇත.


එය සෙනසුරාදා දිනයන්ට විශේෂයෙන් කළ  යුතුය. එමෙන්ම සෙනසුරාදා දින වලදී මස් මාංස වලින් තොරව ගතකිරීමට හැකි නම් ඒරාෂ්ටක බලපෑම තවත් අඩු විය හැක. ඊට අමතරව නිවසින් එළියට බහින තැන අඩි හයක් පමණ උස නුග ගහක් හෝ බෝ ගහක් සිටුවා තැබීමට හැකි නම් එයද සුබ ඵල ගෙනදෙනු ඇත. ගුරු නීචව ගමන් කරනු ලබන වසරේදී පංච මහා පුරුෂ යෝග ඇති අයට අවාසිදායක සීමාවන් ගත එන වසරක් ලෙස හැදින්විය හැකිය. එහිදී ඔවුන් පුෂ්පරාග ගලක් කර පැලදීම හෝ මුද්දක් දමා පැලදීම තුළින් එවැනි තත්වයන් අවම කර ගැනීමට හැකියාව පවතී. මෙම ග්‍රහ බලපෑම් සම්පූර්ණ වශයෙන් නැති කිරීමට නොහැක. ඒවායින් සිදුවන බලපෑම අවම කිරීම පමණක් කළ හැක.

ගුරු ග්‍රහයා ඇතුළු වීමෙන් පසු මේ ගතවන වසර දෙක හමාරක කාලය තුලදී  පමණක් සස මහා යෝගයෙන් දරුවෙකු උපත ලබයි. සස මහා යෝගයෙන් උත්පත්තිය ලබන එම දරුවා තව වසර විස්සක් තිහක් පමණ ගතවූ පසුව සමාජයට පිවිසෙයි. එම දරුවන්ගේ අධ්‍යාපනය ලැබීම ආරම්භ කරන්නේ ඉදිරි වසර පහත් හයත් ඇතුළත කාලයේදීය.  එම කාලය වනවිට මේ පවතින අධ්‍යාපන  රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. එම පෙරළියෙන් පසුව ලංකාවේ අධ්‍යාපනය  හදාරන දරුවන්ගේ අධ්‍යාපන රටාව ඉතා ඉහළ මට්ටමක පවතී. 2007-2008 කාලයට පසුව උදාවුණු අවදියේදීත් එවැනි අධ්‍යාපනික රටාවේ දියුණු තත්වයක් දක්නට ලැබේවී. අධ්‍යාපනයට අදාළව රටේ පාලනය සහ රටේ සාමාන්‍ය කටයුතුද ඉදිරි කාලය  තුළ යම් අසීරු ත ත්වයක පවතී. ඉහත සදහන් කර තිබෙන ගුරු නීචබල වී නැවත වක්‍ර වීම මීට ප්‍රධාන හේතුවයි. ලග්න ඒරාෂ්ටක ආරම්භ වන් රටි පාලනය වෙනස් වීමත් සමගය. ලග්න ඒරාෂ්ටකයක් ඇති වීම ලංකාවට අතිශයින් ගැටලු ඇති කරන තත්වයකි.


  -කැළුම් දේවින්ද-