දකුණු පළාතේ පාසල් ඉඩම් රැසකට නීත්‍යානුකූලව නිරවුල් ඔප්පු නොමැති වීම නිසා පාසල් ශ්‍රේණිගත කිරීම් වලදී බරපතළ ගැටලුවලට මුහුණ පෑමට සිදුවන බව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරු කියති.   ඇල්පිටිය උඩුගම අම්බලන්ගොඩ ගාල්ල මාතර මුලටියන අකුරැස්ස දෙණියාය වලස්මුල්ල තංගල්ල හම්බන්තොට යන අධ්‍යාපන කලාප 11 තුළ පිහිටි පාසල් 1042ක් අතුරින් 600කට ආසන්න පාසල් ප්‍රමාණයකට ඉඩම් මැන නිරවුල් ඔප්පු තිරප්පු නොමැති වීම මෙම ගැටලුවට හේතු වී ඇතැයි

ඔවුන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට අවස්ථා කිහිපයකදී දන්වා ඇති බව ද පැවසේ. ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ පාසල් 123ක් අතුරින් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය වතුයායන් තුළ සහ පරිත්‍යාගශිලින්ගේ ඉඩම් වල තිබෙන බවත් ඇතැම් පාසල්වලට තවමත් නිරවුල් ඔප්පු ලබා ගැනීමට අපහසුතාවයක් පවතින බවත් එම කලාපයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් පැවසුවාය.


මෙම පාසල් පද්ධතිය තුළ පිහිටි ඇතැම් ඉඩම් ධන  පරිත්‍යාගශිලින් විසින් පරිත්‍යාග කර ඇති අතර තවත් පාසල් භූමි රජයේ වතු ඉඩම් සහ රක්ෂිත ඉඩම් බවත් මීට වසර දෙකකට ඉහත දි අධ්‍යාපන අමාත්‍යාංශය කරන ලද සමීක්ෂණවලින්  තොරතුරු අනාවරණය වී ඇති බවත් දකුණු පළාත් විදුහල්පති සංගමය කියයි. මේ වන විට දකුණු පළාත තුළ පිහිටා ඇති කනිටු විදුහල් ප්‍රාථමික විදුහල් මහා විද්‍යාලය, නවෝද්‍යා පාසල්, මහින්නෝදය පාසල් මෙන්ම ජාතික පාසල් ශ්‍රේණිගත කිරීම් වලදී ඉහත ගැටලුව  හේතුවෙන් අධ්‍යාපන නිලධාරින් මෙන්ම විදුහල්පතිවරු දැඩි අසීරුතාවන්වලට පත්වන බවත් ඔවුහු පැවසුහ.


දකුණු පළාතේ ඇති බොහොමයක් පාසල් භූමි ඉඩම් (අක්කර 1 සිට 20 දක්වා) මේ වන විට ඇතැම් පාසල් භූමි අසල්වාසින් විසින්  අනවසරයෙන් අත්පත් කර ගැනීම පිළිබද තොරතුරු නිතර නිතර වාර්තා වන බවත් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතාගෙන් අප කළ විමසීමේදී හෙතෙම පැවසුවේ බහුතරයක් පාසල් ඉඩම්වලට නිවැරැදි ලෙස නිරවුල් ඔප්පු තිරප්පු  නොමැති බවත් එවැනි තත්ත්වයන් ඇති පාසල් වලට නිත්‍යනුකූල  ඔප්පු ලබා ගැනිමට මේ වන විට කඩිනමින් පියවර ගනිමින් සිටින බවත්ය.


-ජනත් ද සිල්වා-