“කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය වැළැක්වීමට රුසියානු විද්‍යාඥයන් සංවර්ධනය කළ ‘ස්පුට්නික් 5'එන්නත ලබන සඳුදා  සිට එරට වැසියන්ට ලබා දෙන්නැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර ඇත. ඒ අනුව, ලබන 7 වැනිදා සිට රුසියාව මහා පරිමාණයෙන් එන්නත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරන  අතර, පළමු අදියර යටතේ වෛද්‍යවරුන්ට, රෝහල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට සහ සෞඛ්‍ය අංශ සෙසු නිලධාරින්ට එන්නත ලබා දේ. එන්නත ලබාදීම සිදුවන්නේ නොමිලේය.  මේ වනවිට ‘ස්පුට්නික් 5' එන්නතේ මාත්‍රා මිලියන 2 ක් නිපදවා ඇති බවත් පළමු අදියර යටතේ එම එන්නත් ලබා දීම සිදුවන බවත් රුසියන් ජනාධිපති පුටින් පවසා ඇත. එන්නත් ලබා දෙන්නැයි ජනාධිපති පුටින් නියෝගය කළේ, ඇමැති මණ්ඩල හමුවක්  පවත්වමිනි.


කොවිඩ්-19" වයිරස වසංගතය හේතුවෙන් ඇමැති මණ්ඩල හමුව විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.  ‘කොවිඩ්-19" වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය ඇති කිරිමට නිපදවූ සහ පළමුවෙන් සාර්ථක වූ එන්නතට ‘ස්පුට්නික්5 ' යැයි රුසියාව ප්‍රකාශ කරයි. ලොව පළමුවෙන් ලියාපදිංචි කළ කොරෝනා වළක්වන එන්නත වන්නේ ද මෙයයි. මෙය 'ස්පුට්නික්' යනුවෙන් නම් කර ඇත්තේ ලොව පළමු චන්ද්‍රිකාව ලෙස සෝවියට් සමූහාණ්ඩුව පෘථිවි කක්ෂයට යැවූ ස්පුට්නික් 1' චන්ද්‍රිකාව සිහි ගන්වමිනි.  ‘ස්පුට්නික් 5' ලෙස නම් කළත් එන්නත නිල වශයෙන් හැඳින්වෙන්නේ 'ගැම් කොවිඩ්-වැක්" යන නමිනි.  එන්නත නිපදවා ඇත්තේ රුසියාවේ 'ගැම්ලේයා' වසංගත පාලන, ක්ෂුද්‍ර ජීව විද්‍යා ආයතනයයි. එන්නත නිපදවීම සිදුවූයේ රුසියන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙනි.

“ස්පුට්නික් 5 එළිදැක්වීම සිදුවූයේ පසුගිය අගෝස්තු 11 වැනිදාය. රුසියානු වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසු අගෝස්තු 28 වැනිදා එය ලියාපදිංචි කෙරුණු බව රුසියන් මාධ්‍ය වාර්තා සිහිපත් කළේය.  සායනික පර්යේෂණ සිදුවෙද්දී පවා එන්නත ජනතාවට ලබාදීමට රුසියානු රජය සහ සෞඛ්‍ය අමතාපාංශය පියවර ගත්තේ, “කොවිඩ්-19' ආසාදිතයන් සහ මරණ පාලනය කර ගැනීමට නොහැකි ලෙස ඉහළ යද්දීය. තෙවැනි අදියරේ අවසන් සායනික පරියේෂණ යටතේ එන්නත 40,000 කට ලබා දුන් බව ගැම්ලේයා ආයතනය පෙන්වා දී තිබේ.


එම 40,000 ගේ සිරුරේ වයිරසයට එරෙහිව ප්‍රතිශක්තියක් නිර්මාණය වූ බවත්, අතුරු ආබාධ හෝ සංකූලතා හෝ ඇති නොවුණු බවත් 'ගැම්ලේයා' වෛද්‍ය පර්යේෂකයෝ තහවුරු කරති. මීට අමතරව, ස්පුට්නික් 5 එන්නත සම්බන්ධයෙන් සිදු කළ පළමු, දෙවැනි සායනික පර්යේෂණ වාරිතා ප්‍රතිඵල සහ  තෙවැනි වටයේ පළමු අදියරේ සායනික පර්යේෂණ වාර්තා ප්‍රතිඵල රුසියානු සෞඛ්‍ය අමාත්‍යශය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දී ඇත. ඒ, ඊට අනුමැතිය ලබා ගැනීම සහ ලොව සෙසු රටවලට එන්නත විකිණීමේ  අරමුණින්ය. කෙසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය, ස්පුට්නික් 5' කෙරෙහි වැඩි උනන්දුවක් නොදක්වන බව රුසියන් ජනාධිපති පුටින් පවසා තිබේ.

ඊට හේතුව, එම එන්නත විශ්වාසය තැබිය නොහැකි අනාරක්ෂිත එකක් නිසා ද නැතිනම් බටහිර ඖෂධ සමාගම් නිපදවන එන්නත් විකුණමින් එම සමාගම්වලට ලාභ ඉපැයීමට වැඩි අවස්ථාවක් උදා කර දීමට අවශ්‍ය වී ඇති නිසා ද යන්න ප්‍රශ්නාර්ථයක් යැයි ජනාධිපති පුටින් විමසයි. රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ බටහිර එන්නත්වලට වඩා රුසියන් එන්නත අඩු මිලකට ලබා දීමට හැකි බවත්, බටහිර එන්නත් සේම රුසියන් එන්නත කෙරෙහිද විශ්වාසය තැබිය හැකි බවත්ය.  මේ වනවිට, “කොවිඩ්-19වයිරසයට එරෙහිව, “ස්පුට්නික් 5' එන්නත ද ඇතුළත්ව තවත් එක්කත් හතරක් නිපදවා තිබේ. එයින් දෙකක් ඇමෙරිකානු එන්නත් වන අතර, චිනය සහ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය අනෙක් එන්නත් නිපදවා ඇත. මෙම එන්නත් සියල්ල තෙවැනි අදියරේ පළමු වටයේ සායනික පර්යේෂණ සාර්ථකව අවසන් කර ඇති බැවින්, ඒවා වයිරසයට එරෙහිව ලබා ගැනීමට සුදුසු බව පැවැසෙයි. කෙසේ නමුත් මෙම කිසිදු එන්නතකට ලෝක  සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියක් තවම ලැබී නැත.