රුසියාව නිපදවූ “ස්පුට්නික් 5' ප්‍රතිශක්තිකරණ එන්නත, බ්‍රිතාන්‍යයේ "ඇස්ට්‍රාසෙනකා' ඖෂධ නිෂ්පාදන සමාගමේ  වෛද්‍ය පර්යේෂකයන්ගේ අවධානයට ලක්වී  ඇත. ‘ඇස්ට්‍රාසෙනකා' යනු ලොව බොහෝ දෙනාගේ විශ්වාසය දිනූ බ්‍රිතාන්‍ය, ස්වීඩන ඖෂධ නිෂ්පාදන සමාගමකි. “  ඇස්ට්‍රාසෙනකා'’ සමාගමේ මූලස්ථානය ඇත්තේ කේම්බ්‍රිජ්හීය.  'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට,  ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්, ඔවුන්ගේ එන්නත නිපදවීම සිදු කරන්නේ ද මෙම ඇස්ට්‍රාසෙනකා සමාගම සමඟ එක් වෙමිනි. බටහිර රටවල පමණක් නොව, ආසියානු කලාපීය රටවලත් රුසියාවේත් ‘ඇස්ට්‍රාසෙනකා' ශාඛා කාර්යාල තිබේ. “ස්පුට්නික් 5 එන්නත බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන්ගේ අධීක්ෂණයට යොමු වී ඇත්තේ රුසියාවේ පිහිටි එම කාර්යාලය හරහාය.



‘ ඇස්ට්‍රාසෙනකා' සමාගමේ වෛද්‍ය පර්යේෂකයන් එක් වී, ඉදිරියේ දී ‘ස්පුට්නික් 5' එන්නත තක්සේරු කරමින්, එය සායනික අත්හදා බැලීම් සඳහා යොදා ගැනීමට නියමිත බව ද පැවැසෙයි. ඒ වයස අවුරුදු 18 වැඩි තරුණ තරුණියන්ට එන්නත ලබා දීමෙනි.  ලොව පළමුවෙන් නිපදවූ සහ පළමුවෙන් ලියාපදිංචි කළ ‘කොවිඩ් 19' වළක්වන එන්නත ලෙස සැලකෙන්නේ රුසියාවේ ‘ස්පුට්නික් 5 එන්නතය. ‘ස්පුට්නික්" යනු සෝවියට් රුසියාව අභ්‍යවකාශය ජය ගනිමින්, පෘථිවි කක්ෂයට යැවූ පළමු චන්ද්‍රිකාවය. එය සෝවියට් රුසියාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි. එම ජයග්‍රහණය සිහි කරමින්, මෙම එන්නත “ස්පුට්නික් යන නමින් නම් කර තිබේ.


‘ස්පුට්නික් 5' ලෙස නම් කළත් එන්නත නිල වශයෙන් හැඳින්වෙන්නේ ‘ගැම් -කොවිඩ්-වැක්” යන නමිනි. එන්නත නිපදවා ඇත්තේ රුසියාවේ ‘  ගැම්ලේයා' වසංගත පාලන, ක්ෂුද්‍ර ජීව විද්‍යායතනය මැදිහත් වීමෙනි. එන්නත නිපදවීමේ කටයුත්තට රුසියන් සෞඛ්‍ය අමත්‍යාංශයේ අනුග්‍රහය හිමිවී තිබේ. එන්නත එළිදැක්වීම සිදුවූයේ අගෝස්තු 11 වැනිදාය. රුසියන් වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසු අගෝස්තු 28 වැනිදා එය ලියාපදිංචි කෙරුණි.  මේවනවිට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ විශේෂ නියෝගයකට අනුව, “ස්පුට්නික් 5' එන්නත රුසියානුවන්ට ලබා දීම ආරම්භ කර තිබේ. එන්නත කුඩා දරුවන්ට ලබා දෙන්නේ නැත.  සායනික පර්යේෂණ සිදුවෙද්දී පවා එන්නත ජනතාවට ලබාදීමට රුසියානු රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේ කොරෝනා ආසාදිතයන් සහ මරණ දිනෙන්  දින ඉහළ ගිය බැවිනි.  සායනික පර්යේෂණ යටතේ එන්නත 40,000 කට ලබා දුන් බව රුසියාව පවසා තිබේ.


ස්පුට්නික් 5 එන්නත සම්බන්ධයෙන් සිදු කළ පළමු, දෙවැනි සායනික පර්යේෂණ වාර්තා ප්‍රතිඵල සහ  තෙවැනි වටයේ පළමු අදියරේ සායනික පර්යේෂණ වාර්තා ප්‍රතිඵල රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දී ඇති නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය ‘ස්පුට්නික් 5" කෙරෙහි යොමු වී නැතැයි පැවැසෙයි.  ඊට හේතුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩි අවධානය බටහිර රටවල් නිපදවන එන්නන්වලට හිමිවීම නිසා යැයි රුසියන් ජනාධිපති විලැදිමීර් පුටින් චෝදනා කර තිබේ. රුසියාවට එන්නත ලොව පුරා විකිණීමට නම්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය අවශ්‍ය වෙයි. මෙම ‘ ඔක්ස්ෆර්ඩ්’ විශ්ව විද්‍යාලය සහ ‘ඇස්ට්‍රාසෙනකා සමාගම එක් වී නිපදවා ඇති කොරෝනා ආසාදනය වළක්වන එන්නත සහ රුසියාවේ මෙම ‘ස්පුට්නික් 5" එන්නත අතර සමානකම් බොහොමයකි. මෙම එන්නත් දෙක නිපදවා ඇ ත්තේ , “කොවිඩ් 19 ජාන සැකැසුම හඳුනා ගනිමින්, කෘත්‍රිමව වෙනස් කරමින් සකස් කළ ජාන සැකැසුමක් යොදා ගනිමිනි. සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය වන්නේ ඉත්පසුවය.  



‘ ඔක්ස්ර්ෆඩ්' එන්නත මෙන්ම ‘ ඇස්ට්‍රාසෙනකා’ එන්නත ද නිවසේ ශීතකරණයක් තුළ පහසුවෙන් ගබඩා කළ හැකිය. “ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගම නිපදවූ එන්නත සියයට 90 ක් සාර්ථක බව පැවසෙන අතර රුසියාවේ 'ස්පුට්නික් 5' එන්නත සියයට 92 ක් සාර්ථක බව පැවැසෙයි. “ඇස්ට්‍රසේනකා සමාගම සහ බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් පවසා ඇත්තේ ඔවුන්ගේ එන්නත සම්බන්ධයෙන් දත්ත සහ රුසියාවේ එන්නත සම්බන්ධයෙන් දත්ත සංසන්දනය කිරීමෙන් පසු වඩාත් සාර්ථක එක් එන්නතක් නිපදවීම කෙරෙහි ද අවධානය යොමු කරන බවය.


බටහිර රටවල අවධානය යොමු වී ඇති  සෙසු එන්නත් වන්නේ ඇමෙරිකාවේ “මොඩර්නා’ සහ ‘ෆයිසර්' යන සමාගම් නිපදවා ඇති එන්නත්ය. ආර්.එන්.ඒ.' වර්ගයේ එන්නත්ය. සෘජුව 'කොවිඩ්19". වයිරසයේ ජාන කේතයේ කොටසක් මෙම එන්නන්වලට ඇතුළත් වෙයි. සිරුරේ ප්‍රතිශක්තියක් ඇති කරනු ලබන්නේ ඒ අනුවය. මෙම එන්නත් දෙක නිවසේ ශීතකරණය  තුළ ගබඩා කළ නොහැකි වන අතර, “ඔක්ස්ෆර්ඩ්" සහ ‘ස්පුට්නික් 5 එන්නතට වඩා මිලද වැඩිය. “මොඩර්නා’ සහ ‘ෆයිසර් එන්නත් පිළිවෙළින් සියයට 95 ක් සහ 92 ක් සාර්ථක බව පැවැසෙයි. ඇමෙරිකාවේ ‘ෆයිසර්" සමාගම ඔවුන්ගේ එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ “බයෝ ඇන්ටෙක්” සමාගම සමඟ එක් වෙමිනි. මේ වනවීමට  බ්‍රිතාන්‍යය වැසියන්ට මෙම එන්නත ලබා දීම  සිදුවෙයි.  කැනඩාව, ඊශ්‍රායලය එන්නත මිලදී ගැනීමට කටයුතු කර ඇතැයි ද පැවැසෙයි.


ඇමෙරිකාව ද අද (14) සිට "ෆයිසර්"  එන්නත ලබන 21 සිට එරට වැසියන්ට ලබා දීමට සූදානම් වෙයි. 'ෆයිසර්' එන්නත හදිසි තත්වයක් සේ සලකා ඇමෙරිකානුවන්ට දෙන්නැයි, අනුමැතිය ලබා දීම සිදුවූයේ එරට ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය මගිනි. එන්නතේ පළමු මාත්‍රා මිලියන 3 ක් ඉදිරි දින  කීපයේ ඇමෙරිකාව පුරා බෙදා හැරෙන බව ද  පැවැසෙයි. ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. මේ වනවිට ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් එක් කෝටි හැට ලක්ෂය ඉක්මවා ඇති අතර, මරණ තුන් ලක්ෂ පනස් දහස ඉක්මවා තිබේ.  'කොවිඩ් 19' මහෙවත් නව කොරෝනා වයිරසයේ මූලාරම්භය චීනයයි යන්න පිළිගත් මතයයි. වයිරසය ලොව ව්‍යාප්තවීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ, වූහාන්  නුවරිනි. මේ වනවිට චීන රජය, හමුදාව සහ එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ද එක් වී සියයට 97 ක් සාර්ථක එන්නතක් නිපදවා ඇතැයි පැවැසෙයි.