එළඹෙන උඳුවප් පොහොයෙන් මෙවර ශ්‍රී පාද සමය (2020/2021) සිරිත් පරිදී ආරම්භ කළද මාස කිහිපයක් යනතුරු ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණීමේන් වළකිෙ ලෙස නවළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා දිවයිනේ සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටියි. දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා නුවරඑළිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේදී පෙරේදා මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ කීවේය. යම්කිසි අත්‍යවශ්‍ය කාරණයකට නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණෙන්නේ නම් තමන් පදිංචි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ සහතිකයක් ගෙන ඒම අත්‍යවශ්‍ය බවත්, එසේ නොමැති වුවහොත් ප්‍රදේශයේ නවාතැන් ගැනීමේ අපහසුතා ඇති විය හැකි බවත් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා කීවේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කොරෝනා ආසාදිතයකු බවට පී.සී.ආර්. පරික්ෂණ මගින් හඳුනාගෙන ඇති බවත් එයට පෙර ඔහු ස්වයං නිරෝධායනයට යොමු කළ අයකු බවත් හෙතෙම පැවසීය. එසේ තිබියදී සභාපතිවරයා ප්‍රභූ අමුත්තන් සහභාගි වූ රාජ්‍ය උත්සව ගණනාවකට සහභාගි වී ඇති බව ඔහු සඳහන් කළේය. මෙම තත්වය පිළිබඳව දීර්ඝ අධ්‍යනයක් කරන බව කී අධ්යක්ෂවරයා යම්කිසි අයකු නිරෝධායන නීති කඩකර ඇත්නම් ඔහුට විරුද්ධව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද කීවේය. ආගරපතන සභාපතිවරයාගේ පී.සී.ආර්. සාම්පල දෙවන වරටත් පෙරේදා (21) ලබාගත් බවත් ඔහු කොරෝනා වයිරසය ආසාදිතයකු බවට එහිදී තහවුරු වී ඇති බවත් කීය.
එම නිසා ප්‍රාදේශීය සභා සභාපතිවරයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමට පියවර ගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා ප්‍රකාශ කළේය. සභාපතිවරයා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියා පිළිවෙත් අනුගමනය කර ඇත්නම් අමාත්‍යවරුන්ට ප්‍රභූවරුන්ට හා උත්සව වලට සහභාගි වූ මහජනතාවට ගැටලුවක් ඇති නොවන බවත්, තමන් මේ වනවිට ඔහුගේ ආශ්‍රිතයන් පිළිබඳව තොරතුරු එක් රැස් කරමින් සිටින බවත්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා කීවේය.
-ගාමිණී බණ්ඩාර-
0 Comments