තාත්තා මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුණා
ඒ ඇරපු සත්තම්වලට කන්දෙක මගෙ පිරුණා
එදා මට පෙනුණෙ ඔබව සතුරෙක් වාගෙයි තාත්තෙ
අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ
 
ජිප්සීස් නායක සුනිල් පෙරේරා කවදත් අපේ සංගීත ක්‍ෂේත‍්‍රයේ පෙරළිකාර මිනිසෙකි. ‘ළිඳ ළ`ග සංගමය’ ලූණු දෙහි ‘කුරුමිට්ටෝ’ ඉදියප්ප නෝනලා හා මෙහෙම වෙන්නෙ ඇයි වැනි ගී ගොන්නකින් අපේ සංගීත කෙත උඩුයටිකුරු කළ මේ ගායකයාගේ හඬ හරිම ජවසම්පන්නය. ප‍්‍රබලය. පෞරුෂ්‍යයෙන් ඉතා ඉහළය. තමන්ගේ තාත්තා සිහිකැර ඔහු ගයන ඉහත ගීතය මොන තරම් වර්ණයකින් ඔහු ගයන්නේද? සුනිල්ගේ මේ අමුතු ප‍්‍රතිභාව නිසා වෙළෙඳ දැන්වීම්කරුවෝ නිතර ඔහු හඹා එති. සමහර ‘ඩුප්ලිකේට්’ සුනිල්ලා බිහිවුණත් ඔවුහු හිරු දුටු පිනි මෙන් වියැකී යති. ‘ඔරජිනල්’ සුනිල් තවමත් නිරුපද්‍රිතව වැජඹේ. අද ඔහුගේ වයස අවුරුදු 69 කි. ඒත් තවමත් තරුණයෙකු මෙන් කඩිසරව වැඩ කරයි. එතුමාගේ පියා ගැන කියන්නට එක්වන සුනිල් මේ කතාබහේදී කාටවත් නොකී රහස් රැසක් හෙළි කරයි.


 දෙවැනි පෙළ ලිපිකරු

අපේ තාත්තා පීටර් ප‍්‍රැන්සිස් පෙරේරා. අපේ සීයලා මෝදර මට්ටක්කුලිය කල්එළිය පැත්තෙ ඉඳලා මොරටුවට ඇවිත් තියෙන්නෙ. මගෙ අම්මා එලනෝ එලිසබෙත් පෙරේරා එතුමියගේ ගම කළුතර. යෝජිත ක‍්‍රමයට ඒ කාලෙ මේ අය එකතු වෙලා තියෙන්නෙ. අපේ තාත්තා රක්‍ෂාව කළේ තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක් හැටියට. ලිපිකරු කීවාට මේ පළමු පෙළ ඉහළ ලිපිකරුවෙකුත් නොවෙයි. එයා දෙවැනි පෙළ ලිපිකරුවෙක්. ලොකු පඩියක් නෑ. තාත්තා මුලින්ම කුලියට ඇනෙක්සියක් අරන් ඉඳලා තියෙන්නෙ. අපේ පවුලෙ දරුවොම 9 යි. මුලින්ම නිහාල් ක්ලෙමන්ට් පෙරේරා. ඒ ලොකු අයියා. ඊළගට මම සුනිල් අයිනෝ සිල්වෙස්ටර් පෙරේරා ඊළගට මල්ලි නිමල් ප‍්‍රැන්සිස් පෙරේරා ඊළග මල්ලි ලාල් කුවින්ටස් පෙරේරා ඊළගට නංගී රංජනී එක්තර් පෙරේරා, අනතුරුව පියල් මාක් පෙරේරා මල්ලි. ඊළගට ශිරානි මේරි පෙරේරා, ඊට පස්සෙ රමනි රීටා පෙරේරා, පවුලෙ බඩපිස්සි ජීනා ලිනී පෙරේරා බලන්න තාත්තා නම් දාලා තියෙන විදිහ. සිංහල නමයි කතෝලික නමයි එකතු කරලා මේ වැඬේ කරලා තියෙන්නෙ. තාත්තා කතෝලික අම්මත් එහෙමයි. ඒත් සිංහලකම අමතක කළේ නෑ.

 වැරැදුණු කෑම හැදීම

අපේ බාප්පා කි‍්‍රස්ටි පෙරේරා, අපේ පුංචි අම්මා මේබල් පෙරේරා ඒ අයගෙ නම් කීවෙත් අපූරු දෙයක් කියන්න. අපේ තාත්තාලා බාප්පලා කවදත් පාටි දාන්න දක්‍ෂයො. අපේ තාත්තා හොඳට බොනවා. දවසක් ඉරිදා දවසක බාප්පා පුංචි අම්මාට කියලා තියෙනවා අලූත් කෑමක් හදන්න. ඒවාට මේ දෙන්නම කැමතියි. මේ අලූත් කෑම හදනකොට පදම වැරැදිලා වෙනත් කෑමක් හැදුණා. ඒක කටට රසට හැපෙන දොදොල් වගේ කෑමක්. බාප්පා කීවා ඒ වැරදීම හරියට තේරුම් ගෙන ඒ වැරදුණු විදියටම ආයිත් ඒ කෑමම හදන්න කියලා. මේක නැගලාම ගියා. උස්වත්ත ජුජුබ්ස් වෙළෙඳපළට එන්නෙ ඒ විදියටයි. අපේ තාත්තායි බාප්පයි එකතුවෙලා උස්වත්ත ෆැක්ටරිය දක්වා ඉහළට ආවේ අර මුලින් හදපු වැරැදි කෑම නිසයි. ඒක අපේ පවුලට වෙස්වලාගත් ආශිර්වාදයක්. ඒකත් එක්කම තාත්තයි බාප්පයි ව්‍යාපාරිකයො වුණා.

  දවල්ට බනිස් ගෙඩියක්

මගේ ජීවිත ඉස්කෝලෙ හා ප‍්‍රධානාචාර්යවරයා මගේ තාත්තා. තාත්තා මුලින්ම මාව දැම්මෙ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට. අපි ගියේ රික්ෂෝ කරත්තෙන්. අයියයි මායි බොහොම ජේත්තුවට ඇඳලා මේ රික්ෂෝවෙ පාසලට යනවා. ඒකෙ හතර වැන්න දක්වා විතරයි හිටියෙ. ඊට පස්සෙ තාත්තා මාව බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට දැම්මා. එතකොට යන්න වුණේ කාරෙකෙන්. කාර් එකේ නැගලා ගියත් දවල්ට බනිස් ගෙඩියක් කන්න විතරයි තාත්තාගෙන් සල්ලි ලැබෙන්නෙ. තාත්තා මුලින් තැපැල් දෙපාර්තමේන්තුවටත් පෙර හමුදාවෙත් හිටියා. ඒ නිසාම එයා ගාව දැඩි හමුදා පාලනයක් තිබුණේ. පවුලේ හිටපු පිරිමි ළමයි සියලූ දෙනා මේ හමුදා පාලනයෙන් දුක්වින්දා. කොණ්ඩෙ කපන්නෙ, සපත්තු ගන්නෙ, කලිසම මහන්නෙ තාත්තට ඕනෑ විදියටයි. ඉස්කෝලෙ රෙක්ටර් තාත්තාට හිතවත් නිසා මේ පාලනය තවත් දැඩි වුණා.

 ගෝල්ෆියත් තාත්තාගෙ

අපේ කලිසමේ ‘ගෝල්ෆිය’ ටේලර් ළගදී කොයි විදිහටද තියෙන්න ඕන කියලා පෙන්නන්නෙ තාත්තා. බොහොම වෙලාවට අපේ කලිසම්වල ගෝල්ෆියක් එයා කියන්නෙ එයාගෙ ප‍්‍රමාණයටයි. අනෙක් සියලූ මිනුම් ද එහෙමයි.

ඉස්කෝලෙදි ආගමික ප‍්‍රශ්න අහනවාට මා හරිම කැමතියි. තාත්තා එක්කත් ඒවා කතා කරනවා.

ගණන්වලටත් මං දක්‍ෂයි. කොටින්ම මං පන්තියෙ පළමු වැනියා. තාත්තාට ඉතින් ඊට වඩා දෙයක් නෑ. එයා දන්නා හැමෝටමත් නෑදෑයින්ටත් කයිය ගහනවා මගේ පුතා මං විශේෂඥ වෛද්‍යවරයෙක් කරනවා කියලා. කොටින්ම මං හත්වැනි පන්තියෙ ඉන්දැද්දී එංගලන්තෙ කේම්බි‍්‍රජ්ද, ඔක්ස්ෆර්ඞ්ද වැඩිය හොඳ කියලා  හැමෝගෙන්ම අහනවා. එයාට තිබුණෙ හරි පුදුමාකාර බලාපොරොත්තු සිහින මාලිගා.

 ගිටාර් එකක් තෑගි

තාත්තාගෙ අණ පිළිවෙළට ක‍්‍රියාත්මකයි. ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආ ගමන් ටියුෂන් ගුරුවරු පෝළිමට ඉන්නවා මට උගත්වන්න. මේ අය දැක්කාමත් මට ඔළුවෙ කැක්කුමයි. සෙල්ලම් කරන්නත් ලැබුණෙ ඉතා සුළු වේලාවක්. ඊට පස්සෙ ආයෙත් ටියුෂන් ඉස්කෝලෙදිත් මට ලැබුණු වටිනාම පාඩම සංගීත පාඩම. ඉස්කෝලෙ බෑන්ඞ් එකේ සෙල්ලම් කරන්න මට අවස්ථාව ලැබුණා. තාත්තාගෙන් අවුරුදු 12 දී විතර මට මුලින්ම ගිටාර් එකක් ලැබුණා. මං ඒකත් අරන් ගිහින් ගුරුවරුන්ගෙන් ගිටාර් ගහන්න ඉගෙන ගත්තා. තාත්තා ගෙදරට ගිටාරිස්ට් කෙනෙක් ගෙන්වලත් දුන්නා ඉගෙන ගන්න. තාත්තට සල්ලි ඕනෑ තරම් නිසා මගේ ගිටාර් එකත් හැමදාම වෙනස් වෙනවා. අලූත් එකක් ආවාම ඒ අලූත් එකමයි ඉල්ලන්නෙ.

 කොල්ලොත් එක්ක රවුමක්

ඒ කාලෙ ඉස්කෝලෙ රෙක්ටර් මර්වින් වීරක්කොඩි එතුමා සමග මාව නේවාසිකාගාරයට දාන්න තාත්තා කතා කළා. ඒකට හේතුව කාරෙක එවනවට මා විරුද්ධයි. බස් එකේ හරි කෝච්චියෙ හරි එන්න මාත් ආසයි. දවසක් තාත්තාට බොරුවක් කීවා හවස බ‍්‍රෑන්ඞ්ප‍්‍රැක්ටිස් කියලා. තාත්තා අහුවුණ. කාරෙක එන එකත් නවත්වා ගත්තා. කොල්ලො දෙන්නෙක් එක්ක වැල්ලවත්තෙන් කෝච්චියට නැංගා.

 මං ගල් ගැහුවෙ නෑ

උන් මහ පුදුම නැහැදිච්ච යක්කු. මං උන්ට බය නිසා සද්ධ නොකර ඉන්නවා. කෝච්චියෙ එන ගමන් රේල් පාරේ යන එන මිනිසුන්ට මේ අය කලින්ම පුරවා ගත් මලූවල තිබෙන ගල්කැටවලින් ගහනවා. මිනිස්සු තුවාල වුණත් කෝච්චිය ඉතින් යනවනෙ. මං ගල් නොගැහුවත් ඒවාට හිනාවෙවී නම් ආවා. ගල්කිස්සෙ දුම්රිය නතර කළාම ස්ටේෂන් මාස්ටර්ට කෝච්චියෙ හිටපු මහත්මයෙක් මේ ගැන පැමිණිලි කළා. දැන් අපිව දුම්රියෙන් බස්සවාගෙන පොලිසියට භාර දෙන්නයි සූදානම. ඒ මහත්මයාට කීවා මං ගල් ගැහුවෙ නෑ. මේ දෙන්නා තමයි ගල් ගැහුවෙ කියලා. ඒත් උන් දෙන්නා මහ හඬින් මාත් ගල් ගැහුවා කීවා. මට යාළුවො එපා වුණා. ස්ටේෂන් මාස්ටර්ට නොවඳිනා වැඳුම් වැඳලා ඉස්කෝලෙ නම ගම කියලා යම්තම් බේරුණා. ඒත් රෙක්ටර්ට මේ ගැන පසුව දැනුම් දීලා තිබුණා.


 මනහොලවන බිකිනි රූප

තවත් එකක් තියෙනවා. සැවෝයි මැජස්ටික් වගේ හෝල්වල ’ෂෝකාඞ්’ දැක්කම කොලූ රංචුව මේ චිත‍්‍රපට බලන්නමයි දගලන්නෙ. බිකිනියක් ඇඳලා ගෑනියෙක් ඉන්නා ’ෂෝ කාඞ්’ එකක් දැක්කොත් ඉස්කෝලෙ වැඩ ඉවරයි.

රෙක්ටර්ගෙ අනුදැනුම මත වෙන්න ඕනෑ තාත්තා පොඩි එකා පියල්ව විතරක් ගෙදර තියාගෙන අපිව හොස්ටල් එකට දැම්මෙ. හොස්ටල් එකත් අමුතුම ජීවිතයක්. වෙලාවට නැගිටින්න ඕනෑ. පාවිච්චි කළ ඇඳුම් ලොන්ඩරියට ගෙන යන්න වෙලාවට ඇඳ පත්තෙ තියන්න ඕනෑ. සෙල්ලම් කරන්ඩ පල්ලි යන්න ඒවාටත් වෙලාවක්. තාත්තගෙ හමුදා පාලනය වගේමයි. මේකෙත් නවක වධය වගේ දේවල් ආවා. නවක වධකාරයන්ට රෙක්ටර් ළගටම යන්න මං වැඬේ දුන්නා. පත්තරවල ලියන්න හොඳ නෑ. ඇත්තටම ඔය කැම්පස්වල අදත් තියෙන්නෙ නවක වධයද? අලූත් අය හඳුනාගන්නෙ මෙහෙමද? උන්ට තියෙන්නෙ පර පීඩා කාමුකත්වය.

 ඉරිදාට පලයන්

සිකුරාදාට ගෙදර ගිහින් සඳුදාට ඉස්කෝලෙ නේවාසිකාගාරයට එන්න අපි හදාගන්නෙ අම්මාට පින්සිදු වෙන්න. ඒත් එහෙම ආවාමත් ගෙදර ටියුෂන්. ඉරිදා සවස තුනට නේවාසිකාගාර ගතවීමයි තාත්තාගේ නියමය. සඳුදාට අපේ කාර් එක ඉස්කෝලෙට එනවා මල්ලි පියල් අරගෙන. අම්මට කන් කෙඳිරි ගානවා අනේ අම්මේ, මල්ලිත් එක්කම හෙට ඉස්කෝලෙට යන්නම් කියලා. ඒත් තාත්තා තදින්ම නියම කරනවා ඉරිදාට නේවාසිකාගාරයට යන්න කියලා. මට ඒ කාලෙ තාත්තව පෙනුණේ යකෙක් වගේ.! මොනව කරන්නද? යනවා.

 නිවාඞ් කබ්රාල් වැඩකාරයා

අපේ තාත්තා නත්තලට විතරක් නොවේ. හොඳට බොනවා. යාළුවොත් එක්ක එයා හිටියානම් ගිටාර් එක ගහලා සින්දුවක් කියන්න ආරාධනා කරනවා.

‘‘ඉස්කෝලෙ සංගීත තරගවලදී තාත්තා උගන්වනවා මේ සින්දුව කියපන් කියලා. ඒත් මට වඩා ඉහළ පංතියක හිටපු අද රාජ්‍ය මුදල් ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් එයා තමයි සිංදු කියලා දිනන්නෙ. මං හැමදාම පරාදයි. කොහොම හරි 8 වැන්න වෙද්දී හොස්ටල් ජීවිතේ රෙක්ටර් තහනම් කරනවා. දරුවෙක් වැඩිහිටි වෙනකොටම හොස්ටල් එකෙන් අයින් කරනවා. මටත් යම්තම් නිදහස ලැබිලා ගෙදර ආවා.

‘‘එහෙම හිතුණාම මං ආයිත් වැටුණෙ හිර ගෙදරකට. ඒත් එක්කම රෙක්ටර් මාව ‘ඒ’ පන්තියට දැම්මා. තාත්තා විශේෂඥ වෛද්‍යවරයෙක් කරන්න බලා ඉන්න පුතාගෙ සායම යන්නෙ එතකොටයි. අපෙ ඉස්කෝලෙ දක්‍ෂ සිංහල ළමයි හිටියේ ‘ඒ’ පන්තියෙ. දුර්වල ළමයි ‘බී’ පන්තියෙ. ‘සී’ පන්තියෙ හිටියෙ දක්‍ෂතම ‘බර්ගර්’ ළමයි. ‘ඞී’ පන්තියෙ හිටියෙ ‘බර්ගර්’ අදක්‍ෂයො. ‘ඊ’ පන්තියෙ හිටියෙ දෙමළ ළමයි.

 පළමු වැනියා 26 වැනියා වුණා

අදක්‍ෂ ළමයි නිසා පන්තියෙ කප් ගහපු පළමු වැනියා වෙච්ච මට දක්‍ෂ ළමයි අතරට වැටීම හරිම අභාග්‍යයක්. උන් එක්ක අපට හැරෙන්න බෑ. මං එකපාරටම 25 වැනියා 26 වැනියා වුණා. තාත්තාට යකා නැංගා. මොකද? මිනිහො පළමු වැනියා ඉඳලා එකපාරටම 26 වැනියා වුණේ. තාත්තා කෑ ගැහුවා. තාත්තා හිතුවෙ මේකට හේතුව ‘ගිටාර්’ ගැහිල්ල කියලයි. වහාම ගිටාර් එක අරන් තිබ්බා.

දැන් ආයිත් ගුරුවරු පෝලිමෙ එනවා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවාම. ? 7-8 වෙනකම්ම එක දිගට භෞතික විද්‍යාවට මං හරි කැමැතියි. ඒ ගුරුවරයා උගන්වන ක‍්‍රමය අපූරුයි. සාමාන්‍ය පෙළ සමත් වෙන්න නම් විද්‍යා විෂයන් දෙකක් පැරණි නිර්දේශය අනුව සමත් වෙන්න ඕනෑ. ඒ නිසා දැන් දිගටම මට වැඩ.

 පැය තුනක ප‍්‍රශ්න පත‍්‍ර

තාත්තා පළමුවැනියා එකපාරට මෙහෙම වුණේ ඇයි? කියලා අහනකොට ගිටාර් එකේ ආසාවට මං ඇත්ත කිව්වා. විභාගෙ ළංවෙනකොට තාත්තා පැය තුනකට ලියා අවසන් වන ප‍්‍රශ්න පත‍්‍රත් ගෙදරට ගෙනාවා. හරියටම ගුරුවරයා කියන වෙලාවට ලියපු උත්තර පත‍්‍රය දෙන්න ඕනෑ. තාත්තා තමයි වෙලාව බලන්නෙ. පැය තුනකදී උත්තරපත‍්‍රය එකතු කරනවා. ලිව්වත් නොලිව්වත් දෙන්න ඕනෑ. ගුරුවරයාගෙන් විමසනවා තත්ත්වය. එයා කියන දේ අනුව තමයි තාත්තාගේ ඊළඟ පියවර.

මේ විදියට කරලත් මට පළමු වතාවේ ‘ ඕ’ ලෙවල් සමර්ථකම ලැබුණෙ නෑ. පාස්වෙලා තිබුණේ විද්‍යා විෂයයන් එකක් විතරයි. දෙවැනි වතාවටත් මට දස වධ දීලා ගුරුවරුන් ගෙන්වලා ආයෙමත් උගන්වන්න ගත්තා. දෙවැනි වතාවටත් මං ‘ෆේල්’.

 තාත්තාගෙ ආදරය

ඒ කාලෙ ලංකාවේ මේ විභාගය අසමත් වෙලා ළමයෙක් දෙන්නෙක් සියදිවි නසා ගත්තා. ඒ නිසා ප‍්‍රතිඵල බලන්න යන දවසෙ තාත්තා මට මෙහෙම කීවා. පුතේ, ප‍්‍රතිඵලය මොනවා වුණත් කමක් නෑ. උඹ ගෙදර වරෙන් කියලා. මට ඒ වෙලාවෙ හිතුණ තාත්තා මට මොන තරම් ආදරෙයිද? කියලා.

තාත්තා ඇහැව්වා උඹට මොනවාද? කරන්න පුළුවන් කියලා. මං කිව්වා සංගීතය කියලා. තාත්තා ස්ටුඩියෝ එකක් අලූතින්ම හැදෙව්වා. සංගීත භාණ්ඩත් ගොඩාක් අරගෙන අනෙක් මල්ලිලා එක්ක සෙල්ලම් කරපන් කිව්වා. තාත්තගෙ නෑයො, යාළුවො හැමෝම දොස් කියන්න ගත්තා. දරුවො ටික කාලකණ්ණි කරන්න හදනවද කියලා. එතකොට තාත්තා කීවා. මට සුනිල් විශ්වාසයි. ලංකාවෙ අංක එකේ සංගීත කණ්ඩායම මගෙ දරුවො බිහිකරයි කියලා. ‘ජිප්සීස්’ කියන නම දැම්මෙත් තාත්තා. මං ළිඳ ළඟ සංගමය ගහලා රට පුරා ජනපි‍්‍රයත්වයට ආවා. තාත්තා කීවා කරන දේ හරියට කරපන් කියලා. එහෙම කිව්වට ඒ කාලෙ රත්මලානේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෙළෙඳ හා නාවික කටයුතු ඇමැති

 දේශපාලන මීටින්වල කට්ටක්

ලලිත් ඇතුලත්මුදලි මහත්මයාගෙ දේශපාලන මීටින් හැම එකකටම අපට මුදල් නැතිව සෙල්ලම් කරන්න සිද්ධ වුණා. මේකට මං විරුද්ධයි. මං එන මැති ඇමැතිවරු එක්කවත් කතා කරන්නෙ නෑ. තාත්තා මේකට බනිනවා. ‘ඇයි? බං උඹට තේරෙන්නෙ නැද්ද? ඇමැතිතුමා සීනි ශත 50 කින් වැඩි කළොත් අපි ජුජුබ්ස් හදලා ඉවරයි කියලා. පස්සේ තාත්තා දවසක් කියනවා. ‘‘සුනිල්, උඹලට ලලිත් මහත්තයලා සල්ලි ගෙවනවා. හොඳ ඉස්පොන්සර් කෙනෙක් එයාට හමුවෙලා කියලා. මං ඉතින් බොහොම සතුටින් ගියා සින්දු කියන්න. එදා තමයි ගල්කිස්ස සුපර්මාර්කට් එක විවෘත කළේ.

එක කතාවකට පස්සෙ සින්දුවක්. මාර කට්ටක් කෑවා. සල්ලිත් ලැබුණා. පස්සෙ හොයලා බලන කොට සල්ලි ගෙවලා තියෙන්නෙ අපෙ තාත්තා.

 ඉංගිරිසි උගන්නපු හැටි

තාත්තා අපට ඉංගිරිසි උගන්වන්නත් පුදුම මහන්සියක් ගත්තා. ඉස්සෙල්ලාම සත පනහෙ කාසි පහළොවක් විතර අපට දෙනවා. ඊට පස්සෙ තාත්තා ඉංගිරිසියෙන් ප‍්‍රශ්න අහනවා. සිංහලෙන් උත්තර දුන්නොත් ශත පනහක් නැවත ගන්නවා. සමහර දෙයකට අපි උත්තර නොදී ‘හ්ම්’ කිව්වොත් ඒකත් ඔව් කිව්වාම තමා කියලා ශත පනහක් ගන්නවා. මේ විදියට තාත්තා මට ගුරුවරයෙක්ද වුණා.

‘ජිප්සීස්’, ‘කුරුමිට්ටෝ’, ‘ලූණුදෙහි’, ‘ඔජායේ’ වගෙ ගීත ගයනකොට තාත්තා කිව්වා අර විශේෂඥ වෛද්‍යවරයාට වැඩිය උඹ හොඳයි කියලා. හැබැයි! තාත්තා මං කලාවට නැඹුරු වෙනකොට මුලින් මුහුණට එකක් පෙන්වලා යටින් වෙනම ‘ගේමක්’ දුන්නා.

 ජනපි‍්‍රය වන්නට පෙර දුන්නු ගේමක්

හිටි ගමන් ඉරිදා වගෙ දවස්වලට වරෙල්ලා ආකාස කඩෙන් කන්න කියලා පවුලේ හැමෝම එක්ක යනවා. එහෙම ගිහින් එතැන සෙල්ලම් කරන සංගීත කණ්ඩායම පෙන්වනවා. ඊට පස්සෙ හිමින් සැරේ මට කියනවා. අනේ, උන් ඇඳන් ඉන්නෙ මුදලාලි දුන්නු ඇඳුම්. සපත්තුත් මුදලාලිගෙ. මුන්ට කන්නවත් දෙන්නෙ නෑ. දැන් රාත‍්‍රියට මේ අයට දෙන්නෙ එක්කෙනකුට ආප්ප දෙකයි. කුකුළු මස් හොදියි විතරයි.

ඉඳහිට ආප්ප දෙකෙන් එකක් බිත්තර ආප්පයක්. හැබැයි! සෙනසුරාදාට ආප්ප දෙකක් එක්ක කුකුළු මස් කෑල්ලක් ලැබෙනවා. ඉතින් උඹත් කලාකාරයෙක් වෙන්න හදන්නෙ ඔහොම කන්නද? කියලා. තාත්තා ඇහැව්වා මතකයි. මං ඒත් එහෙනම්, ජෙට් ලයින්ස්ලාට හොඳට ගෙවනවනෙ තාත්තෙ කියලා එදා උත්තර දුන්නා. නමුත් ජිප්සීස්ලා ලක්‍ෂ දහය පහළොව අරගෙන ‘ෂෝ’ කරනකොට තාත්තා හරියට සතුටු වුණා.

 තාත්තාගෙන් පඩි

තාත්තා අපේ ස්ටුඩියෝ එකේ වැඩ කරන කාලෙට අපට පඩි ගෙව්වා. උඹ හැමදාම උදේ නවයෙ ඉඳන්  රැ හතවෙනකම් සංගීතය පුහුණු වෙන්න ඕනෑ. ඒකට මං අතිකාල එක්ක පඩි ගෙවනවා. මගෙ ෆැක්ටරියෙ අනිත් කම්කරුවො වගේම උඹලත් මගෙ සේවකයො කියලා හිතලා හරියට වැඩ කරපල්ලා. එහෙමයි එතුමා අපව දිරිමත් කළේ.

 උඹත් එක්කයි පුතේ !

මගෙ ජීවිතයේ විවාහයත් සිදුවුණේ හදිස්සියෙ. ඒ බරපතළ කතාව මා කියන්නම්. ලියන්න නම් එපා. ඒක කවදා හරි මං මරුණාම ඔයා ලියන්න. තාත්තා ඒ මහා කලබගෑනියේදී කීවේ උඹ වැරදි වුණත් උඹ හරි වුණත් මං උඹත් එක්කයි පුතේ කියලා. ඊට පස්සෙ ස්ටුඩියො එකේ රැ වැඩ කරනකොට ඇවිත් බනිනවා යකෝ බැඳපු එකා මේ වෙලාවෙ ඉන්න ඕනෑ ගෙදර. වහාම පලයන් කියලා. තාත්තාගෙ ධෛර්යය, ඉවසිලිවන්තකම, කැපවීම මටත් ඒ විදියටම ආවා. අපි කතෝලිකයන් වුණත් මට තේරෙන දේ සංසාරයෙන් තමයි අපේ කුසලතා අපට එන්නෙ. පුනර්භවය මා නොපිළිගන්නෙ නෑ. තාත්තා මොන තරම් සුන්දර වස්තුවක්ද? අනේ! ඒ වස්තුව මා ඉපදෙන හැමවිටම මා ළඟම සිටිනවා නම්.....

 උපාලි සමරසිංහ (ඉරිදා දිවයින)