තල්ලුව සති පොළේ හා අවට වෙළෙඳ ව්‍යාපාරවල නිරතව සිටින ව්‍යාපාරිකයන් 70 දෙනකු අහඹු ලෙස තෝරාගෙන සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් දහඅට දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමග 19 වැනි සිට නැවත දැනුම් දෙනතුරු පහළ තල්ලුව ග්‍රාමසේවා වසම සඳහා සංචරණ සීමා පැනවීමට දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තීරණය කර ඇත. ඒ අනුව පහළ තල්දුව ග්‍රාමසේවා වසම හුදකලා ප්‍රදේශයක් බවට පත් කර ඇති අතර, එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්ට වෙනත් ප්‍රදේශවලට යෑම හා පිට ප්‍රදේශවලින් එම ප්‍රදේශයට ඇතුළුවීම ද අත්හිටුවා ඇත.
තල්දුව සතිපොළේ හා අවට ප්‍රදේශයේ සිදු කළ මෙම පී.සී. ආර්. පරික්ෂණවලින් හඳුනාගත් කොරෝනා වයිරස ආසාදනය වූ පුද්ගලයන් දහඅට දෙනාගෙන් පුද්ගලයින් 16 දෙනකුම දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් පහළ තල්ලුව ග්‍රාමසේවා වසමේ පදිංචි පුද්ගලයන් වීම හේතුවෙන් පහළ තල්දුව ග්‍රාමසේවා වසම සඳහා සංචරණ සීමා පැනවීමට හේතු වී ඇත. ඒ අනුව මෙම කොරෝනා වයිරස ආසාදනය වූ පුද්ගලයන් සමීපව ඇසුරු කළ පුද්ගලයින් සොයා නිරෝධායන කටයුතු සඳහා යොමු කරන බව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. තල්දුව සතිපොළ බදාදා හා සෙනසුරාදා දිනවල පැවැත්වෙන අතර, වෙළඳුන් තුන්සීයකට ආසන්න සංඛ්‍යාවක් වෙළඳාම්වල නිරතව සිටින අතර, මෙම වෙළෙඳුන් එළවළු රැගෙන ඒම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලට යෑම හේතුවෙන් කොරෝනා වයිරස ආසාදනයවී ඇති බවට සෞඛ්‍ය අංශ සැක පහළ කරයි.
-අංජුල නිශාන්ත-
0 Comments