ලොව පුරා ලක්ෂ 15කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින් තවත් ලක්ෂ 670කට අධික පිරිසක් ආසාදිතයන් බවට පත් කරමින් ව්‍යාප්තව පවතින COVID-19 වසංගතය පාලනය සඳහා මේ වනවිටත් සමාගම් කිහිපයක් මගින්ම එන්නත් ඉදිරිපත් කර තිබේ.

එම එන්නත් අතරින් එක්සත් ජනපදයේ Pfizer සමාගම සහ ජර්මනියේ BioNTech සමාගම එක්ව නිපදවූ එන්නත ප්‍රථම වරට සිය ජනතාව වෙත ලබාදීම ඇරඹූ රට බවට පත්වෙමින් එක්සත් රාජධානිය පසුගියදා ඉතිහාසයට එක්විය.

මෙය බ්‍රිතාන්‍ය COVID-19 සටනට එරෙහිව ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් බවද එරට අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණි. එසේම එම දිනය එරට තුළ "විජයග්‍රහණයේ දිනය" ලෙසින්ද නම් කෙරී තිබේ. මේ වනවිට බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාව යටතේ
ක්‍රියාත්මක මෙම එන්නත් ලබාදීම මධ්‍යස්ථාන රැසක ක්‍රියාත්මක වෙමින් තිබේ. පළමු වැනි එන්නත් විදීමෙන් දින 21කට පසුව දෙවැනි එන්නත ලබාදීම සිදුවෙයි. එහිදී මූලික අදියර ලෙස COVID-19 සටනේ ඉදිරි පෙළ සිටින සෞඛ්‍ය අංශ සේවකයන්, සුරැකුම් නිවාසවල සාත්තු සේවකයන් මෙන්ම, වයස අවුරුදු 80ට වැඩි වයසේ පසුවන වැඩිහිටියන් වෙත මෙම එන්නත් ලබාදීම සිදු කෙරෙයි.

එක්සත් රාජධානියට අයත් බ්‍රිතාන්‍ය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය ඇතුළු රාජ්‍යයන්හි එකවර මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

ඒ අතරින් වේල්සයේ කාර්ඩ්ෆ්හි රෝහලක කොරෝනා වසංගත සටනේ ඉදිරිපෙළ සිට සිය දායකත්වය ලබාදෙන වෛද්‍ය වෙන්කට් චන්ද්‍රාද පසුගියදා මෙම Pfizer/ BioNTech එක්නත ලබාගත් තවත් පළමු වැනි පිරිස අතර සිටින සොඛ්‍ය නිලධාරියෙකි. ඉන්දියානු සම්භවයක් ඇති 46 හැවිරිදි ඔහු කාර්ඩ්ෆ්හි විශ්වවිද්‍යාල රෝහල් අනතුරු සහ හදිසි අවස්ථා පිළිබද වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිටියි. ඔහු ඇතුළුව රෝහලේ තවත් 224දෙනෙකුට මෙහිදී එම එන්නත ලබාදී තිබේ.

"අපිට තවත් දුර යන්න තියනවා. මම හිතනවා හැමෝම ඇවිත් මේ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගනීවී කියලා. එතකොට තමයි, රට ආයිත් ඉදිරි ගමන් කරවන්න පුළුවන් වෙන්නේ." චන්ද්‍රා පවසයි. මේ වසරේ ආරම්භයේ සිටම එරට තුළ පවතින මෙම වසංගත තත්ත්වය නිසා චන්ද්‍රා වෙත වසරකට වැඩි කාලයකින් සිය මවුපියන් බැලීම සදහා ඉන්දියාවට පැමිණීමටද නොහැකි වී තිබේ.


"මෙම එන්නතේ කිසිම වේදනාවක් නෑ. මම මගේ සියලුම රෝගීන් වෙත මේ එන්නත ලබාගන්න උනන්දු කරවනවා. මේ පළමුවැනි එන්නත ලබාගත් පිරිස් තවත් සති තුනක කාලයකින් දෙවැනි එන්නත ලබාගත යුතුයි.” වෛද්‍ය චන්ද්‍රා පවසයි.

60 හැවිරිදි ෂාරොන් චැප්මන්ද මෙම එන්නත ලබාගත් තවත් හෙදියකි. පියයුරු පිළිකා පිළිබද විශේෂඥතාවක් සහිත ඇය මෙම වැඩසටහන සදහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්ව සිටින්නේ මෙම නව එන්නතේ සුරක්ෂිත බව පිළිබදව ජනතාව තුළ යහපත් හැගීමක් ඇති කරවමින් එය ලබාගනීමට ජනතාව උනන්දු කරවීමේ අරමුණිනි.

"මම හිතන්නේ අපි මේ ජනතාවට විදින්නේ බලාපොරොත්තුවයි. මේ වසංගතය නිසා මුහුණදුන් දරුණු වසරකට පස්සේ, අපි හැමෝම මේ එන්නතත් සමග අනාගතය දෙස යහපත් දැක්මකින් බලාගෙන ඉන්නේ." ඇය පවසා සිටියි.

ඇය සදහන් කරන ආකාරයට සියලු දෙනාගේම බලාපොරොත්තුව වී ඇත්තේ මේ එන්නත ලබාගෙන හැකි ඉක්මනින්ම ප්‍රජා ප්‍රතිශක්තිකරණයකට යාමේ අවස්ථාව උදා කිරීමයි. ඒ හරහා ජීවිතය යළිත් සුපුරුදු රිද්මයට පත්වනු ඇතැයි ඇය පවසයි. එහෙත් එතෙක් දැනට අනුගමනය කරන සියලුම සීමාකිරීම් එලෙසින්ම පවත්වාගෙන යාමද වැදගත් බව ඇය අවධාරණය කරයි.

කාර්ඩ්ෆ්හි රෝහල තුළ මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයත් සියලුම ආකාරයේ කොරෝනා පූර්ව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් සකස් වී ඇත. ඒ අනුව විශේෂයෙන්ම පවත්වා ගත යුතු ආරක්ෂිත දුරස්ථභාවය තබා ගනිමින් රෝහල් කාර්යමණ්ඩලය වෙත මෙම එන්නත ලබාදීම සිදුව තිබේ. එසේම මෙහිදී ලබාදුන් එන්නත්ද ඉතාමත් දැඩි පාලිත තත්වයන් යටතේ වෙනමම කාමරයක තැබූ අධිශීතකරණයක තැන්පත් කර තිබී ඇත.