වාහන අංක තහඩු නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් ලෙස පළාත් හඳුනාගැනීමේ අක්ෂර ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය යෝජනා කර තිබේ. වාහන දුම් පරික්ෂාවේදී මෙන්ම වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී 
පහසුවක් ඇති වුවද එමඟින් සේවාලාභී මහජනතාවට පමණක් නොව සමස්ත රටටම අහිතකර බලපෑම් සිදු වන බව නිරීක්ෂණය වී තිබීම හේතුවෙන් වාහන අංක තහඩුවලින් පළාත් අක්ෂර ඉවත් කිරීමට යෝජනා කර ඇත.

පළාත් අතර වාහන හිමිකම් පැවරීම සිදුකරන සෑම අවස්ථාවකදීම අංක තහඩු නැවත මුද්‍රණය කිරීමට සිදුවීම මගින් ගැටලු නිර්මාණය වී ඇති බවද වාර්තා වේ.

ඒ අනුව සේවාලාභීන්ට අංක තහඩු ලබාගැනීම සඳහා අමතර කාලය ශ්‍රමය හා පිරිවැයක් දැරීමට සිදු වීම, පළාත් අතර වාහන හිමිකම් පැවරීම නිරන්තරයෙන් සිදුවන විට අංක තහඩු ඒ අනුව මුද්‍රණය කළද ඒවා ලබාගැනීමට සේවාලාභීන් යොමු නොවීම, පැරණි අංක තහඩු භාරගැනීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීමේ ගැටලු මතුවීම හා අනවශ්‍ය ලෙස ඇලුමිනියම් පරිසරයට මුදාහැරීම හේතුවෙන් සිදුවන පරිසර හානිය හා විධිමත් ප්‍රතිචක්‍රීකරන ක්‍රමවේදයක් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නොතිබීම, අංක තහඩු මුද්‍රණය සඳහා වන විවෘත ටෙන්ඩර් පටිපාටිය තුළ අදාළ ටෙන්ඩරය විදේශීය සමාගම් ලබාගන්නා අවස්ථාවල අනවශ්‍ය ලෙස රටේ මුදල් විදේශ රටවලට ගලායෑම යන ගැටලු නිරීක්ෂණය වී ඇති බැවින් ප්‍රවාහන අමාත්‍යාංශය මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. වාහන දුම් පරීක්ෂාවේදී මෙන්ම වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම යන අරමුණු සපුරාගැනීමට බාධාවක් නොවන ලෙස සේවාව පවත්වා ගැනීමට හැකියාවක් ඇති බැවින් පළාත් අක්ෂර ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය යෝජනා සකස් කර ඇති බවද වාර්තා වේ.

- නවෝද්‍යා පවනි -