වේයන්ගොඩ ප්‍රදේශයේදී සැඟවූ ආයුධ පෙන්වන්න යාමකදී අද උදේ පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු මියගියේය. ඉකුත් 19 වනදා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ අත් පා වෙන් වන ආකාරයට කපා මනුෂ්‍ය ඝාතනයකට තැත් කළ අයෙකු මෙලෙස මියගිය අතර පොලිසිය පැවසුවේ නිශාන්ත කුමාරසිරි නැමැති 37 හැවිරිදි අයෙකු මෙලෙස මියගිය බවයි.
මියගිය තැනැත්තා අධික ලෙස මත්කුඩු හා ගංජා භාවිතයට මෙන්ම එම ජාවාරම් සඳහා ප්‍රකට අයෙකු බව පොලිසිය හඳුනාගෙන ඇත. වේයන්ගොඩ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ගංජා රැගෙන එන පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු දුන්නේ යැයි සැකකොට වේයන්ගොඩ,
මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ අත්පා කඩුවලින් කපා ඔහුගේ එක් පාදයක කොටසක්
රැගෙන පලාගොස් සිටි අයෙකි. මෙම සිදුවීම පසුගිය 19 දා සිදුවිය.

මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි සුනන්ද නමැති අයකුට තවත් පුද්ගලයකු සමඟ පැමිණ මෙසේ කඩුවලින්
පහරදී ඔහුගේ පාදයේ කොටසක් සිරුරෙන් වෙන්කරගෙන රැගෙන ගිය බව කියන මෙම සැකකරු කොටුකර ගැනීමට වේයන්ගොඩ පොලිසිය හා බස්නාහිර (උතුර) අපරාධ විමර්ශන කොට්ඨාසය පුළුල් මෙහෙයුමක් දියත් කර තිබිණි.
මත්කුඩු අතැතිව පුද්ගලයකු කුරුවිට බස් නැවතුම අසල රැඳී සිටින බව ඔහු විසින්ම පොලිසියට දුන් දුරකථන
ඇමතුමට අනුව බස් නැවතුම අසලට ගිය පොලිස් කණ්ඩායම මොහු කොටුකරගෙන තිබිණි.

පොලිසිය පවසන්නේ අල්ලා ගන්නා ලද අවස්ථාවේ ඔහු සන්තකයේ මත්කුඩු ග්‍රෑම් 2ක් තිබූ බවය.
දින කිහිපයක් තිස්සේ සැඟව සිටි මොහු තමා ගැනම පොලිසියට ඔත්තුවක් සපයා කුරුවිට පොලිසියට භාර වීම ගැන පොලිසියට සැකයක්ද මතුවිය.
පසුව  බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දැනුවත්
කිරීමෙන් පසු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් කුරුවිට පොලිසියට ගොස් සැකකරු භාරගෙන පෑලියගොඩ පිහිටි එම ඒකකයට ගෙන එන ලද අතර
එහිදී කළ ප්‍රශ්න කිරීමේදී සැකකරු විසින් සිදුකරන ලද අමානුෂික ක්‍රියාව පාපොච්චාරණය කර තිබේ.


ඉකුත් 19 වැනිදා මාලිගාතැන්න ප්‍රදේශයේ වෙළෙඳසලකට සිය පුතු සමඟ ත්‍රිරෝද රථයකින් පැමිණි
සුනන්ද ජයලත් නමැත්තාට මොහු සගයෙකුද සමග එක්ව කඩුවලින් පහරදී ඔහුගේ අත්පා කපා දමා ඇති අතර සුනන්දගේ සිරුරෙන් වෙන්වෙන ලෙස කපන ලද ඔහුගේ පාදයක කොටසක්ද මෙම
සැකකරුවන් විසින් රැගෙන ගොස් තිබිණි.

බරපතළ තත්ත්වයෙන් පසු වූ සුනන්ද  වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළද ඔහුගේ තත්ත්වය
අසාධ්‍ය වූයෙන් ඔහු කොළඹ ජාතික රෝහලට යැවීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇත.
සුනන්දගේ පාද දෙකටම කඩු පහරවලින් බරපතළ තුවාල සිදුවී තිබිණි. එක් පාදයක දණහිසෙන් පහළ කොටසද අනෙක් පාදයේ ඇඟිලි සහිත පතුල් කොටසද කැපී වෙන්වී තිබිණි.
සිද්ධිය සැලවීමත් සමඟ වේයන්ගොඩ පොලිස් කණ්ඩායමක් සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කළද සැකකරු ඒ වනවිටත් ගම අතහැර පලාගොස් තිබිණි.
මේ සම්බන්ධ විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්ද යොදනවා තිබියදී ප්‍රධාන සැකකරු කුරුවිට පොලිසියට භාර වී තිබුණි.
පහරදීමට පැමිණි අනෙක් පුද්ගලයා කවුදැයි යන්නද මේ වනවිට හඳුනා ගෙන ඇත.
ප්‍රධාන සැකකරු දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර (උතුර) අපරාධ විමර්ශන
කොට්ඨාසය කටයුතු කරන ලද අතර සැකකරු මංකොල්ලකෑම් කිහිපයකටත් සම්බන්ධ සැකකරුවෙක් වන බවත් වැඩිදුර විමර්ශනයේදී හෙළි විය.
වේයන්ගොඩ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි නිශාන්ත කුමාරසිරි නැමැති 37 හැවිරිදි පුද්ගලයෙක් වූ ඔහු කැටුව අද අලුයම යම් මෙහෙයුමක් සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වේයන්ගොඩ පොලිස් වසමේ හල්ගම්පිටිය ප්‍රදේශයට ගොස් තිබූ අවස්ථාවේ ඇති වූ සිද්ධියකදී  මියගොස් ඇතැයි පොලිසිය වාර්තා කළේය.
වේයන්ගොඩ කළගෙඩිහේන හල්ගම්පිටිය ප්‍රදේශයේදී මෙම සිද්ධිය අද අලුයම තුනයි තිහට පමණ සිදුවූ බව පොලිසිය පවසයි. ඔහු ආයුධ සගවා තැබූ ස්ථානයක් පරීක්ෂා කිරීමට ඔහු සමග පොලිසිය ගිය බවද
 එහිදී පොලිස් රියදුරුගේ ගෙළ අත් මාංචුවලින් සිරකිරීමේදී රථය මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇති බවද පොලිසිය පවසයි. පළායාමට තැත් කිරීමේදී පොලීසිය තැබූ වෙඩි පහරින් තුවාල ලැබූ ඔහු වතුපිටිවල රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බවද දන්වා ඇත.
 සැකකරුගෙන් ලබා ගත් තොරතුරු මත වෙඩි තැබූ ස්ථානයේ සිට මීටර් සියයක දුරින් පිහිටි පාළු වත්තක තිබී ජීව අත්බෝම්බ දෙකක් සහ ප්‍රදේශයේ සුසාන භූමයක් අසළ සගවා තිබූ කඩු දෙකක් පොලිසිය සොයාගත් බවද දන්වා තිබේ.


තොරතුරු - කීර්ති මෙන්ඩිස්