පසුගියදා සිදු වූ භූ කම්පන මෙන් දස ගුණයක බලපෑමක් ඇති භූ කම්පනයක් සිදු වුවත් වික්ටෝරියා වේල්ලට
කිසිදු හානියක් සිදුනොවන බව තමාට නියත වශයෙන්ම කිව හැකි බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ
ජලාශ හා වේලි අධ්‍යක්ෂ, ප්‍රධාන  ඉන්ජිනේරු එස්.ආර්.කේ. අරුප්පොළ මහතා පැවැසීය.        මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ඊයේ (10දා) දින පැවැති වික්ටෝරියා භූ කම්පන
පිළිබඳ විද්වත් කතිකාවකින් අනතුරුව ඒ මහතා ඉහත අදහස් පළ කළේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ
අරුප්පොළ මහතා මෙසේද කීය. 

වික්ටෝරියා ජලාශයේ ක්‍රියාකාරිත්වය සොයා බැලීම සඳහා 24 පැය පුරාම විවිධ තාක්ෂණ මෙවලම් හා
යන්ත්‍ර 400ක් ක්‍රියාත්මක වෙනවා.  වික්ටෝරියා වේල්ල සාදා නිමකර වසර තිහක් ගියත් තව වසර
150ක් එය භාවිත කිරීමට හැකි බව පවසන්න පුළුවන්. සාමාන්‍ය ආකාරයේ භූ කම්පන සඳහා ඔරොත්තු
දෙන ආකාරයෙන් තමයි මෙය ස්ථාපිත කොට තිබෙන්නේ. අවාසනාවන්ත ආකාරයෙන් මහ පරිමාණ
භූමිකම්පාවක් ඇති වුණොත් මිසක මෙම වේල්ලට හානියක් සිදුනොවන බව අපිට අනිවාර්යෙන්ම කියන්න පුළුවන්.
එබැවින් මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා මෙන් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. යම් කිසි
ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වුවත් වික්ටෝරියා ජලාශයේ ජලය ක්‍රමවත් ලෙස බැහැර කිරීමේ
ක්‍රියාපටිපාටියක් මෙන්ම අනෙකුත් ඇතිවිය හැකි ආපදා සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් අප සතුව
පවතිනවා. කුණ්ඩසාලේ ආශ්‍රිත ඇතිවූ භූ කම්පනවලින් වික්ටෝරියා ජලාශය ඇතුළු කිසිදු ප්‍රධාන ජලාශයකට
බලපෑමක් සිදුව නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බවත් වික්ටෝරියා
වේල්ල භූ කම්පන සම්බන්ධව විශේෂ අධ්‍යයනයක් කරමින් ඒවාට ඔරොත්තු දෙන ආකාරයට ඉදිකර තිබෙන
බවත් පසුගිය දිනවල දිගන හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඇතිවූ කම්පන ඉතාමත්ම සුළු ඒවා බැවින් ඒවායින්
කිසිදු බලපෑමක් වේල්ලට නොමැති බවට සහතික විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්
ඉන්ජිනේරු සජ්ජන ද සිල්වා මහතා කියා සිටියේ, වික්ටෝරියා ජලාශය අවට පවතින හුනුගල් නිධිය ආශ්‍රිතව
සිදුවන බෝර දැමීම්වලින් මෙවන් භූ කම්පා ඇතිවීමට හැකියාව ඉතාමත් අවම බවද. කෙසේ වුවද
ජාත්‍යන්තර මට්ටමේ භූ කම්පන මාන හතරක් මෙරට ක්‍රියාත්මක බවද ඉන් ප්‍රධානතම භූ කම්පන මානය
වික්ටෝරියා ජලාශයට නුදුරු පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථානගත කොට ඇති බවද ඉදිරියේදී මේ කලාප
ආශ්‍රිතව මෙම කම්පන මැනිය හැකි උපකරණ කිහිපයක් ස්ථානගත කිරීමට බලාපොරොත්තු වන බවත් කීය.
කෙසේ වුවද ප්‍රදේශයේ ජනතාව බිය විය යුතු කරුණක් දැන ගැනීමට නොමැති බවත් මෙම තත්ත්වය
සම්බන්ධයෙන් අදාළ සියලු අංශ ඒකාබද්ධව පරීක්ෂණ සිදුකරන බවත් මේ සඳහා ජාත්‍යන්තර සහාය ලබා
ගැනීමටද අපේක්ෂා කරන බවත් හෙතෙම සඳහන් කළේය. දිගන ආශ්‍රිතව සිදුවූ භූ කම්පන සම්බන්ධයෙන්
සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාගේ
සභාපතිත්වයෙන් කමිටුවක් පත්කර තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

පල්ලේකැලේ ආශ්‍රිතව පසුගිය කාලයේ ඇතිවූ භූ කම්පනවලින් වික්ටෝරියා ජලාශයට කිසිදු බලපෑමක්
සිදුනොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ජේ‍යෂ්ඨ
කථිකාචාර්ය, ආචාර්ය ජගත් ගුණතිලක මහතා මෙහිදී පැවැසීය.

වික්ටෝරියා ජලාශය ලෝකයේ අති දක්ෂ නිර්මාණකරුවන් පිරිසක් විසින් ඉදිකර තිබෙන්නේ එම ප්‍රදේශයේ
උපරිම භූ කම්පන  ගැන විශේෂ අධ්‍යනයක් කිරීමෙන් පසුව බවත් පසුගිය වසර 100ක කාලය තුළ මෙරට
ඇතිවූ භූ කම්පනවල ප්‍රමාණය සැලකීමේදී ජලාශයට බලපෑමක් විය හැකි කිසිදු භූ කම්පනයක් සිදුව නොමැති
බවත් ඒ මහතා කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජේ‍යෂ්ඨ කථිකාචාර්යවරයා ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ප්‍රධාන
වශයෙන් භූ කම්පන සිදුවන කලාපයක නොවන බවත් පසුගිය දිනවල පල්ලේකැලේ ආශ්‍රිතව සිදුවූ භූ කම්පන
තල මායිම්වල සිදුවූ කම්පන නොවන බවත් ප්‍රකාශ කළේය.

හුනුගල් ආශ්‍රිත කර්මාන්ත මෙම කලාපයේ තිබෙන බවත් ඒවාහි බලපෑමක් මෙම භූ කම්පන සමඟ තිබිය හැකි
බවට මත ඉදිරිපත්ව තිබෙන බවත් කී ගුණතිලක මහතා මේ නිසාම භූ කම්පන සිදුවූවේ යැයි නිගමනය කළ
නොහැකි බවද කීය.

හුනුගල් රටටම අවශ්‍ය සම්පතක් බැවින් ඒවා තිබෙන ස්ථානයෙන් ගත යුතු බවත් වඩා වැදගත් වන්නේ මනා
පාලනයකින් යුතුව විධිමත් ලෙස ඒවා ගොඩගැනීම බවත් හෙතෙම පැවැසුවේය.

වික්ටෝරියා ජලාශය ගොඩනැඟීමෙන් පසු උපරිම ධාරිතාවට ජලය පැමිණි අවස්ථා කිහිපයක් තිබෙන බවත් ඊට
අමතරව විවිධ ජල මට්ටම් යටතේ ජලාශය පරීක්ෂාවට ලක්ව තිබෙන බවත් කී ගුණතිලක මහතා පසුගිය භූ
කම්පන සිදුවූ අවස්ථා හතරේදීම ජලාශය උපරිම ධාරිතාවට පැමිණ නොතිබුණු බවද ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් එළැඹෙන 22 වැනිදා වික්ටෝරියා වේල්ල
නිරීක්ෂණය කිරීම සඳහා යෑමට ආණ්ඩුකාරවරයා තීරණය කළේය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන
ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන
තෙන්නකෝන්, මහනුවර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූ අතර භූ
විද්‍යා හා පතල් කාර්යාංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, මහවැලි අධිකාරිය, නාගරික සංවර්ධන
අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක නියෝජිතයන් මෙම රැස්වීමට පැමිණි සිටියහ.


මහනුවර - කේ.එල්. සුරවීර