මෙතෙක් කලක් රට කැළඹු කොරෝනා රැල්ල ලංකාවට ආ ආකාරය අද (07) පාර්ලිමේන්තු විවාදයේදී හෙළි වුණා.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් යොමු කරමින්, වර්තමාන කොවිඩ් රැල්ල ඇතිවීමට හා ව්‍යාප්තියට අදාළ හේතු සහ ඊට අදාළ පොලිස් පරීක්ෂණ පිළිබඳ ව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
මීට පිළිතුරු දෙමින්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියේ යුක්ක්‍රේන ගුවන්කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් නිරෝධායනයට ලක්කර සිටි සීදූව ප්‍රදේශයේ පිහිටි රමාඩා හෝටලයේ සේවකයින් සමග පැවැති සම්බන්ධතාවයකින් එය නිර්මාණය වූ බවයි.
එහිදී ඇය මෙසේ ද පවසා සිටියා.
“මිනුවන්ගොඩ පොකුර වාර්තාවූ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කාර්යමණ්ඩලයට එම රෝගය සම්ප්‍රේෂණය වූ ආකාරය පිළිබඳ මාන කිහිපයකින් පරීක්ෂාකරන ලද අතර ඉන් වඩාත්ම ප්‍රබල අනුමානයක් වූයේ විදේශයක සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගෙන් එම රෝගය වැළඳෙන්නට ඇති බවය. ඒ ඔස්සේ පරීක්ෂාකරන විට සීදුව රමාඩා හෝටලයේ නවාතැන්ගත් යුක්ක්‍රේන ජාතික ගුවන්යානා කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබූ බව සොයාගත් අතර පසුව එම හෝටලයේ කාර්යමණ්ඩලය පරීක්ෂා කිරීමේදී එහි සේවකයන් කිහිපදෙනෙකුට ද මෙම රෝගය ඇති බවට සොයාගන්නා ලදි. ඔවුන් සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්යමණ්ඩලය සමග යම් සබඳතා පැවැති බවත් නිරීක්ෂණය විය.”
තවදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ ලංකාවේ දැනට දක්නට ලැබෙන වයිරස ප්‍රභේදය ඉන්දියාවේ පවතින ප්‍රභේදයට වඩා සමීප වන්නේ යුරෝපීය ප්‍රභේදයට බවත්, එමගින් එම වයිරසය පැමිණියේ යුක්රේනයෙන් බව තහවුරු කිරීමට වඩාත් සාක්ෂි ලැබෙන බවත් ය.
මෙවැනි හදිසි පොකුරක් නැවත රට තුළ පැනනැගීම හෝ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර ගැන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් කළ විමසුමකට පිළිතුරු ලෙස,
* අවදානම් ජන කොට්ඨාසවලට ප්‍රමුඛතාව ලබාදෙමින් රටපුරා අහඹු PCR පරීක්ෂණ සිදුකිරීම,
* එම අධි-අවදානම් ප්‍රදේශවල PCR පරීක්ෂණ සඳහා නියැදි ලබා ගැනීම,
* කොවිඩ්-19 රෝගය පැතිරීමේ අවදානම ඇති වෘත්තීය කාණ්ඩ, ආයතනවල කාර්ය මණ්ඩලයේ තෝරාගත් පෙර නිගමනය කරන ලද ප්රතිශතයකගේ සාම්පල PCR පරීක්ෂාව සඳහා යොමු කිරීම,
* විදේශවල සිට පැමිණෙන සියලුදෙනා PCR පරීක්ෂාව සඳහා යොමු කිරීම,
* රසායනාගාර ප්‍රමාණය වැඩි කිරීම සහ එක් එක් රසායනාගාරවල දිනකට සිදුකළ හැකි PCR පරීක්ෂණ ධාරිතාව වැඩිකිරීම සඳහා සැලසුමක් සහිතව වැඩ කිරීම
යන ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
'ඉන්දියාවෙන් ආ රෝගීන් කිසිවෙක් බ්‍රැන්ඩික්ස් කම්හල්වලට ගියේ නෑ'
මේ අතර ඉන්දියාවේ විශාකාපට්ටනම් වල සේවය කළ ලාංකිකයන් 341 දෙනෙකු බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් අවස්ථා 03 කදී ලංකාවට ගෙන ආ බවත්, ඔවුන්ගෙන් කොවිඩ්-19 වැළඳී තිබුණේ 10 දෙනෙකුට පමණක් බවත්, එම 10 දෙනා නැවත කිසිවිටෙකත් කම්හල්වල සේවයට අනුයුක්ත කර නැති බවත්, මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා සිටියා.
ඒ අනුව, බ්‍රැන්ඩික්ස් ආයතනයට කොවිඩ් රෝගය ඇතුළු වූයේ ඉන්දියාවෙන් නොව, යුක්රේනයෙන් බවත්, ඊට බල පා ඇත්තේ සීදුව රමාඩා හෝටලයේ නිරෝධායනය වමින් සිටි යුක්රේන ගුවන් කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ගෙන් හෝටල් කාර්ය මණ්ඩලයට කොරෝනා වැළදීමෙන් අනතුරුව, රමාඩා හෝටලයේ කාර්යමණ්ඩලය සමීප සබඳතා පැවැත්වූ ඇඟලුම් සේවිකාවන් කීපදෙනෙකු බවත් තහවුරු කරගන්නට අපට හැකියාව ලැබී තිබෙනවා.
සම්පුර්ණ වීඩියෝව මෙතැනින්
0 Comments