වාරියපොළ නුවරකන්ද විහාරස්ථානයට අයත් බව කියන රක්ෂිත භූමියක නිධානයක් ගැනීමට උත්සාහ කළ කණ්ඩායමක සිටි මුරකරුවකු ගිනිඅවි දෙකක්ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල කොට්ඨාස පුරාවස්තු වැටලීම් ඒකකය පවසයි. වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරියකුගේ ද මෙහෙයවීම මත මෙම නිධානය ගැනීමට උත්සාහ කර ඇතැයි කියති.
නුවරකන්ද විහාරාධිපති හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කොට්ඨාස පුරාවස්තු වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.බී. පුණ්‍යසේන මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් මෙම වැටලීම සිදු කළහ.
පුරාවිද්‍යා රක්ෂිත භූමියක් බව කියන අක්කර 48ක් පමණ විශාල භූමියක නුවරකන්ද විහාරස්ථානයට ආසන්න ස්ථානයක ඇති බව කියන නිධානයක් ගැනීම සඳහා සැකකරුවන් අඩි 20කට වඩා ගැඹුරැති දෝනා සහිත විශාල වළක් හාරා ගල් පර්වත දෙකක් අතර කොටසක නිධානය ගැනීම සඳහා ගැඹුරට හෑරීම සිදු කර ඇතැයි පොලිසිය සිදු කළ පරීක්ෂණවලින් හෙළිවී ඇත.
එම ස්ථානය පොලිසිය වටලන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරු සමග සිටි අනෙක් සැකකරුවන් දෙදෙනකු එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර, එම ස්ථානයේ දමා ගොස් තිබූ යතුරුපැදි දෙකක ලියකියවිලි පරික්ෂා කර බැලීමේදී එක් සැකකරුවකු වාරියපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරිවරයකු බවත්, අනෙක් පුද්ගලයා වාරියපොල මිනුවන්ගැටේ පදිංචි අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිලධාරියකු බවත් අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
පලාගිය නිලධාරීන් දෙදෙනාට අයත් රාජකාරි කටයුතු සඳහා රජයෙන් ලබාදී ඇති යතුරුපැදි දෙක සමග රාජ්‍ය ලාංඡනය සහිත ටී-ෂර්ට් දෙකක්ද එම ස්ථානයේ දමා ගොස් තිබියදී පොලිස් නිලධාරීන්ට හමුවී තිබේ.
වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරු පුරාවිද්‍යා රක්ෂිතයක් බව කියන මෙම ඉඩමේ මුරකරු බවද දැනට ජපානයේ සිටින අයකු එම ඉඩම මිලදීගෙන සිටින බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් නුවරකන්ද විහාරාධිපති හිමියන් පැවරූ නඩුවක්ද අධිකරණයේ විභාග වෙමින් පවතින බව ද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් මුරකරු සතුව තිබී බලපත්‍ර නොමැති රුසියාවේ නිෂ්පාදිත බෝර 12 පතුරම් තුවක්කුවක් සමග ඊට යොදන පතුරම් හිස් කොපු 3ක්, ගල්කටස් වර්ගයේ බඳින තුවක්කුවක් ද අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව අගල් 28ක් දිග වෙඩි නූල්, පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 100ක්, විශාල ප්‍රමාණයේ රතිඤ්ඤා කරල් 27ක්, ගල් විදීමට ගන්නා යන්ත්‍රයක් සමග ඊට යොදන කටු ඇතුළු නිධානය හෑරීමට යොදාගන්නා උපකරණ කීපයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
මීට පෙර ද මෙම ස්ථානයේ නිධානයක් හාරා ඇති බවට සලකුණු පැහැදිලිවම දක්නට ලැබෙන බවද පොලිසිය කියයි. සැකකරුවන් කර තිබෙන කැණීම් සලකුණු අනුව එම ස්ථානයේ දින ගණනාවක්ම ඔවුන් එම කාර්යයෙහි නිරතව සිට ඇති බව ද කියයි. පලාගොස් සිටින සැකකාර ග්‍රාම නිලධාරිවරයා රාජකාරි වේලාවෙන් පසුව දිනපතා පැමිණ නිධානය ගැනීමේ කටයුතුවල නිරතව ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වැඩිදුර පරික්ෂණ සඳහා වාරියපොල පොලිසියට බාරදී ඇත.
- පුෂ්පකුමාර ජයරත්න -
0 Comments