පසුගිය 13 හා 14 දින වතුපිටිවල රෝහලේ කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තාවූ බව ඊයේ කොවිඩ් පැතිරවීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය වාර්තා කළේය. 
 රජයේ මාධ්‍ය හා රජයට හිතවත් පුද්ගලික මාධ්‍ය ගණනාවක් එම රෝගීන් හමුවූයේ ධම්මික බණ්ඩාරගේ පැණිය බීපු නැති අය බවට ඒත්තු ගැන්වීමට විශාල උත්සාහයක නිරත විය.
දෙරණ නාලිකාව මගින් දන්වා සිටියේ කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ වතුපිටිවල රෝහලට කිලෝමීටරයක් එපිටින් වෙනම තැනක බවත් මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරෝධායනය වන කිසිවෙකුට කොරෝනා වැළඳී නැති බවත්ය.

එසේම රජයේ අමාත්‍යවරයෙකුට සම්බන්ධ වෙබ් අඩවියක් මගින් 'එක්ස්ක්ලූසිව්' යනුවෙන් ලේබලයක්ද සමග දන්වා සිටියේ මෙම ආසාදිතයින් කොරෝනා බෙහෙත පානය නොකළ අය බව වගකීමෙන් කියන බවයි. එම වෙබ්අඩවිය මගින් දැක්වූ තවත් පුවතකින් පැවසුනේ ධම්මිකගේ පැණියට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදී ඇති බවයි.
මේ අතර සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කර තිබෙන සමාජ විශ්ලේෂකයෙකු වන දීප්ති කුමාර ගුණරත්න මහතා
මෙසේ පවසා ඇත.
“දැන් ඔය පැණිය හදපු ධම්මික හොඳටම දන්නවා එයා කරන්නේ බොරුව කියලා. පැණිය බොරුයි කියලා සෞඛ්‍ය ඇමතිණියත් දන්නවා, දිලිත් ජයවීරත් දන්නවා, ගෝඨාභය මහත්තයත් දන්නවා හැබැයි දැනගෙනත් නරුම විදිහට මේක ගෙනියනවා. ලබන අවුරුද්ද මැද වෙනකල් ශේප් වෙන්න පුළුවන් නම්, ඒකට මිත්‍යාව නම් හරි යන්නේ, ඉතිං මොකෝ කියලා.
ඇත්තටම පැණිය පිළිගන්න නිකමට හරි හිතන අපි කරන්නෙත් බොරුවනේ.  අපි හැමෝම දන්නවා ලැබ් එකක විශාල වියදමක් දරලා මිසක් මේකට උත්තරයක් හොයන්න බැරි බව. හැබැයි අපිටත් ඕන නේද බොරුවක් පිළිගන්න?
ඒ මිත්‍යාව අපිට ඕනෙ. ධම්මික පැණිය එක්ක තමයි ආණ්ඩුව මේ දවස් වල යන්නේ. ඒක බුද්ධි මෙහෙයුමක්. කොරෝනා එන්නත අපිට දැන්ම ගන්නත් බැරි නම්, මිනිස්සු බය වෙලත් නම් ඉන්නේ, මිනිස්සුන්ගෙ හිත පාලනය කරන්න මොකක් හරි ගේමක් ඕනෙනෙ. ඒ මානසික මෙහෙයුම තමයි දෙරණ හරහා දුන්නේ. ඒක වැඩ කළා.“