අක්කර 46 ක් පුරා පැතිර පවතින වැලිකඩ බන්ධනාගාර භූමිය ඉතා ඉහළ වාණිජ වටිනාකමක් ඇති භූමියක් වන බැවින් එය වෙනත් කටයුත්තක් සඳහා භාවිත කිරීමට අදහස් කරන බවත්, වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන යෑම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් අක්කර 250ක ඉඩමක් ලබාදී ඇති බවත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ (23දා) මහනුවර, මහයියාවේ ඒ මහතාගේ නිවසේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,
"මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ 54 වගන්තිය යටතේය. මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් ඉදිරිපත් කරන්නේ 78 වගන්තිය යටතේය. මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා 78 වගන්තිය යටතේ දඬුවම් නියම කරන අය සිරගත නොකර පුනරුත්ථාපනය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයකින් තොරව යම් පුද්ගලයකුට සිරදඬුවම් විඳීමට සිදුව තිබෙන්නේ නම් එය නිවැරදි කරන්න පියවර ගන්නවා. එක් එක් පුද්ගලයන් ඉලක්ක කර මෙය ක්‍රියාත්මක කරන්නේ නැහැ. දුමින්ද සිල්වාටත් ඒ ආකාර අසාධාරණයක් සිදුව තිබෙන බව තහවුරු වුවහොත් ඔහුටත් සාධාරණය ඉටු කරනවා. මත්කුඩු ග්‍රෑම් එකක් හෝ දෙකක් සමග අත්අඩංගුවට පත්වන පුද්ගලයන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. මහර බන්ධනාගාර ගැටුමේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැත්තෙන් වරදක් සිදුව තිබෙන බව තහවුරු වුවහොත් වන්දි ලබාදීමක් කරනවා. අධිකරණය මගින් ඇප නියම කර සිටි පුද්ගලයකු මහර ගැටුමේදී මිය ගිය බව කියනවා. අධිකරණයෙන් ඇප නියම කළත් ඇප කොන්දේසි සැපිරීමට පසුව තමයි ඒ පුද්ගලයාට නිදහස ලැබෙන්නේ. මහේස්ත්රාත්තුමා ඇප නියම කළත් ඇප කොන්දේසි සපුරාලීමට ඒ පුද්ගලයා අපොහොසත් වුණොත් බන්ධනාගාරයේ රඳවා ගන්නවා. බන්ධනාගාර නිලධාරින්ගේ වැටුප් වසර 10 -15කින් ඉහළ දමා නෑ. අපි 40%ක වැටුප් වැඩි කිරීමක් කඩිනමින් ලබා දෙනවා.
සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධූරය මා භාරගන්නා විට බන්ධනාගාරවල 27000කට වැඩි පිරිසක් රඳවා සිටියා. නමුත් ඉතා කෙටි කාලයකදී එම පිරිසෙන් 8300ක පිරිසක් නිදහස් කරන්න අපට හැකියාව ලැබුණා.
මේ වනවිට 19,000ක පමණ පිරිසක් තමයි බන්ධනාගාරවල රඳවා සිටින්නේ. එම එක් රැඳෙව්වෙක් වෙනුවෙන් දිනකට රුපියල් 300ක් 400ක් වගේ මුදලක් වැය කරන්න වෙනවා. සිරකරු සිවු අවුරුදු සමාලෝචනය අවුරුදු විස්සකින් විතර සිදුවෙලා නැහැ. ඒ ගැන අපි අවධානය යොමුකර තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශය මගින් ජනාධිපතිතුමාට මේ වාර්තාව යොමුකර තිබෙන අතර තවත් දින කීපයකින් එය අපට ලැබෙයි කියා විශ්වාස කරනවා. එය ලැබුණු පසු තවත් සිරකරුවන් පිරිසක් අපට නිදහස් කරන්න පුළුවන් වේවි.
සිවු අවුරුදු සමාලෝචනය මගින් මරණ දඩුවම ලබාදී තිබෙන සිරකරුවෙකුගේ දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් බවටත් ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් නියමව සිටින සිරකරුවෙකුගේ දඬුවම වසර විස්සක් දක්වාත් අඩුවෙනවා. යහපත් කල්ක්‍රියාව මත බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මේ අය නිදහස් කිරීමේ හැකියාව ලැබෙනවා.” යැයි පවසා සිටියේය.
මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් තුසිත උඩුවර, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක යන මහත්වරුන්ද සහභාගි වූහ.
- ෂේන් සෙනෙවිරත්න -
0 Comments