වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ මියගිය හැටහය හවිරිදි කතකගේ මරණය සම්බන්ධයෙන් පී.සී.ආර්.  පරීක්ණ සිදුනොකර කිසිවකුට නොදන්වා මාලිගාවත්ත සුසාන භූමියේ  හොර රහසේ වළදමා ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.
මෙම කාන්තාව ඉකුත් 24 වැනිදා නිවෙසේදී මියගොස් ඇති අතර නිවැසියන් එම දේහය හොර රහසේ නිවෙසින් පිටමං කර වළ දමා ඇති බවට මහබුත්ගමුව ග්‍රාම නිලධාරිනිය වැල්ලම්පිටිය පොලිසියට කළ පැමිණිල්ලක් මත මෙම පරික්ෂණය ආරම්භ කර ඇත. මෙම නීති විරෝධී ක්‍රියාවට පුද්ගලයන් තිදෙනකු සම්බන්ධ වී ඇති බවත්, වේල්ලවීදිය උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් මෘතදේහය භූමදානයට අවශ්‍ය මරණ සහතිකය නිකුත් කරනු ලැබ ඇති බව ද පොලිසිය සඳහන් කරයි.


මෙම කාන්තාව කොරෝනා ආසාදිතව මියගියේ ද යන්න හෙළි කරගැනීම සඳහා පරීක්ෂණ  පවත්වන බව ද පොලිසිය පවසයි. මෙම නිවෙසේ සෙසු පිරිස නිවෙස තුළ නිරෝධායනයට යොමු කර ඇත.  වැල්ලම්පිටිය කුමාරදාස පෙදෙසේ මේ අයුරින්ම නිවෙස තුළ මියගිය පුද්ගලයකුගේ දේහයට කිසිවකුටත් නොදන්වා ව්‍යාජ මරණ සහතිකයක් සකස් කර දෙමටගොඩදී පසුගියදා භූමදානය කර තිබිණි.  වැල්ලම්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


 -ඉන්දිකා රාමනායක-