තමාගේ මවු රට වන ඉතියෝපියාව මේ වනවිට දරුණු අර්බුදයකට පත්ව සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ට්‍රෙඩෝස් අද්නොමි ගෙබ්‍රයේසස් පවසයි. මේ වනවිට ඉතියෝපියාවේ ගිට්රේ පළාතේ ඇතිව තිබෙන ගැටුම්කාරී තත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ. ආසන්න කාල සීමාවේදී 

COVID-19 වසංගතය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙලස සිය රට පිළිබදව අදහසක් දැක්වීම විශේෂත්වයක් ගෙන තිබේ. මෙම ටිගරේ පළාතේ වාසය කළ තැනැත්තෙකු වන ටෙඩ්‍රෝස්,
තමන්ගේ බොහෝ ඥාතීන් එම පළාතේ වාසය කරන බවත්, සිය බාල සහෝදරයාද ඒ අතර වන බවත් පවසා තිබේ.

"COVID-19 වසංගතයට අමතරව, මගේ උපන් රට අද පත්වෙලා තිබෙන අර්බුදයත් නිසා 2020 වසර මට ඉතාමත් අසීරු වසරක් බවට පත්වෙලා." ඔහු පසුගිය සඳුදා ලෝක සෞඛ්‍ය සංවිධානයේදී පැවැත්වුණු හමුවකදී මාධ්‍ය වෙත පවසා ඇත.

මෙම ටිග්රේ පළාත තුළ වෙනම පාලනයක් ඉල්ලා සිටින ටිග්රේ ජනතා විමුක්ති පෙරමුණ (TPLF) සංවිධානය සහ ඉතියෝපියානු රජයේ හමුදා අතර දරුණු ගැටුම්කාරී අවස්ථාවන් මතුව තිබේ. පසුගිය නොවැම්බර් 04දා සිට පවතින මෙම ගැටුම් හේතුවෙන් දහස් ගණනක ජීවිත අහිමි වී ඇති අතර, තවත් දස දහස් ගණනකට සිය උපන් බිම් අතහැර යාමට පවා සිදුව තිබේ. මේ වනවිට ඉතියෝපියානු රජය විසින් මෙම ටිග්රේ පළාත වෙත ඇතුළුවීම මාධ්‍ය වෙත අවුරා ඇති අතර, එම පළාත හා පවතින සියලුම සන්නිවේදන සබදතා ඇනහිටුවා තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා, "මගේ බාල සහෝදරයා ඇතුළු ඥාතීන් කොහේද ඉන් කියලා මට සොයාගන්න බැහැ. මොකද අද වනවිට මට  ඔවුන් සමග සන්නිවේදනය කරන්න බැරි නිසා.” ටෙඩ්‍රෝස් පවසා ඇත.

"COVID විතරක්ම නෙමෙයි. මට දැන් පෞද්ගලික වේදනාවකුත් තිබෙනවා. මට අද සමස්ත ඉතියෝපියාව ගැනම පවතිත් කනස්සල්ලක්.”ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. ලෝකයේ පිළිගත්  මුල් පෙළේ සංවිධානයක ප්‍රධානත්වය වෙත පත්වූ ටිග්රීයානු වැසියෙකු ලෙස අද්නොම් සැලකෙයි. ඔහු 2005 - 2012 කාලසීමාවේදී ටිග්රේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නායක මෙලෙස් සෙනාවිගේ නායකත්වයෙන් යුත් රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ. ඒ අනුව ඔහු අද වනවිට මෙම බෙදුම්වාදී සටන්කරුවන්ට පක්ෂව කටයුතු කරන බව ඉතියෝපියා රජය පසුගියදා ටෙඩ්‍රෝස් වෙත චෝදනා කර තිබුණි. එහෙත් තමන් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, කුඩා දරුවකු ලෙස යුද්ධයේ අත්දැකීම් සහිත තමන් සැමවිටම සාමය සඳහා කටයුතු කරන බවත් ට්විටර් පණිවුඩයක් මගින් පවසා ඇත.