වතුපිටිවල හා මාතලේ නාඋල කම්හල් දෙකක සේවක සේවිකාවන් 136 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරුවීමෙන් පසුව, එම ඇඟලුම් කම්හල් දෙකම සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ඒවායේ පාලකයන් විසින් ඊයේ (20) වසා දමනු ලැබිය.
 
මේ ආසාදිතයන් හමුවීමෙන් පසුව ඔවුන් හා ආශ්‍රිතව කම්හල් දෙකේම සේවක සේවිකාවන් හත්සියයකට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමු කෙරුණු බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.

වතුපිටිවල කම්හලෙන් කොරෝනා ආසාදිතයෝ 107 දෙනෙක් හා මාතලේ නාඋල ඇඟලුම් කම්හලෙන් ආසාදිතමයෝ 29 දෙනෙක් මෙසේ හඳුනාගනු ලැබ සිටිති.

මෙම ආයතනයේ සේවක සේවිකාවන් හා නිලධාරින් 94 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (20) දහවල් තහවුරු වී ඇත. මෙයට දින දෙකකට පෙර මෙම කම්හලේ සේවකයන් දහතුන් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වතුපිටිවල ආයතන සැකසුම් කලාපයේ අධ්‍යක්ෂ ටී.එම්. ඩී. තිලකරත්න මහතා පැවසීය.


මේ අතර නාඋල ඇඟලුම් කම්හුහලේ සේවිකාවකට උණ රෝගය වැළඳීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් ඇති බවත්, ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව එහිදී කරන ලද පී.සී.ආර්. පරික්ෂණයෙන් තහවුරු වූ බවත් සෞඛ්‍ය අංශ කියයි.

ඇය සේවය කළ ඇඟලුම් කම්හලේ එම අංශයේ අනෙකුත් සේවක සේවිකාවන්ද පී.සී.ආර්. පරික්ෂණයකට යොමුකර ඇති අතර, එහිදී ඔවුන්ටද වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

මෙම පිරිසෙන් ඇතැම් අය පී.සී.ආර්. පරික්ෂණවලට ලක්වී සිටියදී නාවුල නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල මෙන්ම ඔවුන්ගේ නිවෙස්වලටද ගොස් ඇති බව හෙළිවී ඇති බැවින්, එම ආශ්‍රිතයන් සොයා ගැනීම සඳහා ද මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතැයි නාඋල ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරියෙක් පැවසීය.

මෙම කම්හලේ සේවකයන් 800කට වැඩි පිරිසක් සේවය කරන අතර, තවත් පිරිසකගේ පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරීමට කටයුතු කරමින් යන බව ද එම නිලධාරියා කීය.

කොවිඩ් ආසාදිත සේවක සේවිකාවන් පිරිස දඹුල්ල කිතුල්හිටියාව, නාඋල පිළිහුඩුගොල්ල, දෙකේ කණුව, රත්තොට, කෙහෙල්ඇල්ලයාය, නිකුල, රජ්ගම්මන, බිබිල, 01 කණුව, නාලන්ද, කටුනේරුව, මීගලෑව, දඹුල්ල කණ්ඩලම, මාතලේ රත්තොට, ගලේවෙල දේවහුව සහ මහනුවර උඩුදුම්බර ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ කියයි. එම ආසාදිත පිරිසගේ නිවෙස්වල අයද නිරෝධායනයට යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොවිඩ් ආසාදිත පිරිස පොලොන්නරුව හා ලග්ගල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කරනු ලැබ සිටිති.