බස්නාහිර පළාතේ හුදෙකලා කළ ප්‍රදේශවල පිහිටි පාසල් හැර සෙසු පාසල් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් අද (25) සිට විවෘත කෙරෙන බව කී ඇමැතිවරයා සෙසු ශ්‍රේණිවල සිසුන්ට ද ලබන 15 වැනිදා සිට ක්‍රමයෙන් පාසල් විවෘත කරන බව සඳහන් කළේය.
ඒ අනුව එම පළාතේ ඇති පාසල් 1,576 ක  ප්‍රමාණය අතුරින් පාසල් 900 ක පමණ අධ්‍යාපන කටයුතු ලබන මස 15 වැනිදා වන විට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා කීවේය.  මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 1 වැනිදා සිට 11 වැනිදා තෙක් පැවැත්වෙන අතර බස්නාහිර පළාතේ සිසු සිසුවියන් 79,000ක් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් ඇමැති ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පාසල් වසා තිබූ කාලයේදී මගහැරී ගිය එම සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීම වෙනුවෙන් අද සිට ඔවුන්ට පාසල් විවෘත කෙරන බවද ඇමැතිවරයා කීවේය. ඉන්පසු සෞඛ්‍ය අංශවල උපදෙස් හා මාර්ගෝපදේශ යටතේ ලබන 15 වැනිදා සිට බස්නාහිර පළාතේ පාසල් සෙසු ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් ද විවෘත කෙරෙන බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය. බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉකුන්දා පැවැති බව කී ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් දිස්ත්‍රික් සංවර්ධන කමිටු හරහා ගැනීම සුදුසු බව එහිදී තීරණය වීම නිසා දිස්ත්‍රික් කමිටු  සභාපතිවරුන්, සාමාජිකයන් සහ ප්‍රදේශයේ සෙසු සෞඛ්‍ය අධ්‍යපන නිලධාරීන් ලබන මස 3 වැනිදාට පෙර සාකච්ඡාවක්  පවත්වා පාසල් ආරම්භ කිරීමේ හැකියාව තීරණය කර අමාත්‍යාංශය වෙත දැනුම් දෙන්නැයි දන්වා ඇති බවද ඇමැතිවරයා කීවේය.